– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ
– පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න
– ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ එන්න පුළුවන්
– සමබරව කළමනාකරණය කළොත් පුවත්පත් කලාවේ අභියෝග ජයගත හැකියි
අද ලෝක නිදහස් මාධ්‍ය දිනයයි. මාධ්‍ය ලෝකයේ පැරැණිම මාධ්‍යය වන්නේ පුවත්පත් කලාවයි. එහෙත් වර්තමානය වන විට නව මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය පැමිණීම තුළ පුවත්පත් කලාව නව අභියෝගවලට මුහුණ දී තිබේ. පුවත්පත් කලාවේදියාට ද ඒ තත්ත්වය තදින් බලපා තිබේ. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.
පුවත්පත් කලාව ශත වර්ෂ දෙකකට වැඩි කාලයක් තිබූ කලාවක් වගේම කර්මාන්තයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙත් මුහුණුපොත ඇතුළු විවිධ නව මාධ්‍ය නිසා පුවත්පත් කර්මාන්තය අභියෝගයකට ලක්වෙලා තිබෙනවා. මේ තත්ත්වය ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකි ද?
ඇත්තෙන්ම පුවත්පත් සහ නව මාධ්‍ය අතර ලොකු පරතරයක් වගේම වෙනසක් තිබෙනවා. පුවත්පතක් කියන්නේ විධිමත් ධූරාවලියක් යටතේ විධිමත් පරිපාලන රටාවක් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රමිතියක් සහිත මාධ්‍යයක්. ප්‍රධාන කර්තෘවරයා, ප්‍රවෘත්ති කර්තෘ, විශේෂාංග කර්තෘ උප කර්තෘ අංශ ඔස්සේ නිසි නිරීක්ෂණයකට ලක් වූ ප්‍රවෘත්තියක් හෝ ලිපියක් තමයි පුවත්පතක පළ වෙන්නේ. ඒ නිසා පුවත්පතක පළවන ඕනෑම දේකට ප්‍රධාන කර්තෘ ඇතුළු කර්තෘ මණ්ඩලය වගකියනවා. අතපසුවීමක් හෝ වරදක් සිදුවුණොත් නීතිමය ක්‍රියාමාර්ග හෝ ගන්න පුළුවන්.
පුවත්පතේ ක්‍රියාවලිය හරහා ප්‍රවෘත්තියක් පුවත්පතක පළ වෙන්න දිනයක් පමණ ගත වෙනවා. අද ලැබුණ පුවත පුවත්පතේ මුද්‍රණය වෙන්නේ හෙට. ඒ නිසා මුද්‍රිත මාධ්‍ය තුළ යම් ප්‍රමාදයක් තිබෙනවා. එහෙත් නව මාධ්‍යවල එවැනි ප්‍රමාදයක් නැහැ. මේ මොහොතේ සිදුවන දේ තවත් තත්පර ගණනකින් පළ කිරීමට හැකියාව තිබෙනවා. නව මාධ්‍ය ඒ තරමටම වේගවත්. අද අතිධාවනකාරී ජීවිත ගත කරන පිරිස් මේ නව මාධ්‍ය වෙත සමීපව සිටිනවා. අද සමාජය සංකීර්ණ වීම තුළ ඉක්මනින් නව තොරතුරු ලබා ගැනීමට පුරුදු වෙලා සිටිනවා. එතැනදී නව මාධ්‍ය පුවත්පත්වලට වඩා වේගවත් ඒ ගැන තර්කයක් නැහැ.
එහෙත් පුවත්පත් විශ්වාසනීයත්වය වගකීම යන පාර්ශ්වවලට ඉතා තදින් බැඳී සිටිනවා. නව මාධ්‍ය කෙතරම් ඉක්මන් වුණත් විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ ගැටලුවක් තිබෙනවා. ඒ වගේම ආචාර ධර්ම පිළිබඳවත් පුවත්පත් කලාව සදාචාරාත්මක ලෙස නීතිමය විදිහට බැඳී සිටිනවා.
එහෙත් නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ. නීතිමය තත්ත්ව පිළිබඳ දැඩි පාලනයක් නැහැ. එහෙත් මම මේ චෝදනාව සියල්ලන්ටම එල්ල කරන්නේ නැහැ. ඇතැම් සමාජ මාධ්‍යකරුවන් ඉතාමත් වගකීමෙන් සහ මානුෂිකව තම වගකීම ප්‍රමිතියක් සහිතව කටයුතු කරන අය සිටිනවා. ඇතැමුන් තමයි ඉබාගතේ යමින් වගකීමෙන් තොරව වැඩ කරන්නේ. එහෙත් පුවත්පතකට එහෙම වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ. විධිමත් නිල රාමුවක් තිබෙන නිසා.
පුවත්පත් කර්මාන්තය අද වන විට විවිධ ආකාරයේ අභියෝගවලට මුහුණ දී සිටිනවා. ඒ අතර ඇතිව තිබෙන ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ පුවත්පත් හිමිකරුගේ අදහස අනුව ක්‍රියාත්මක වීමට සිදු වීමයි. මෙම තත්ත්වය පුවත්පත් කලාවේදීන් වෙත බලපෑමක් එල්ල කරනවා නේද?
ඕනෑම පුවත්පතක ඉලක්කගත පාඨක පිරිසක් ඉන්නවා. කාන්තාවන්, දේශපාලනය, විද්‍යාව, ක්‍රීඩා වගේ විවිධ විෂයයන් ඉලක්ක කර ගනිමිනුයි පුවත්පත් පළ වෙන්නේ. ඒ අලෙවිකරණ ඉලක්ක අනුව තමයි පුවත්පතක් පළ වෙන්නේ. පුවත්පත් පමණක් නොවෙයි, වෙනත් භාණ්ඩ නිෂ්පාදන සමාගම් වුවද තම වෙළෙඳ ඉලක්කය අනුවයි කටයුතු කරන්නේ. පුවත්පත් වුවද වාණිජ අරමුණු ද සහිතව පළවන්නක්. ඒ නිසා තම තමන්ගේ මතිමතාන්තර ආරක්ෂා කරමින් වාණිජ අරමුණු ජයගැනීමටත් පුවත්පත් කලාව කලාවක් වගේම කර්මාන්තයක් විදිහට සුරක්ෂිත කරමින් වැඩ කළ යුතුයි. අද පුවත්පත් කලාවට නව මාධ්‍ය මඟින් එල්ල කර තිබෙන අභියෝග අතික්‍රමණය කළ හැක්කේ මේ සියලු අංශ සමබර විදිහට කළමනාකරණය කරගතහොත් පමණයි.
ඇතැමුන් පුවත්පත් කලාවේ තීරණාත්මක කාර්යභාරය මේ වන විට අවසාන වෙමින් තිබෙන බව පවසනවා. මේ අභියෝගය පරාජය කරමින් අනාගතයට පුවත්පත් කලාව යොමු කිරීමට මොන විදිහේ ක්‍රියාමාර්ග ද ගතයුත්තේ?
මෙතැන පරම්පරා පිළිබඳ ගැටලුවකුයි තිබෙන්නේ. අද වන විට වයස අවුරුදු තිහට වැඩි පිරිස් තමයි කුඩා කාලයේදී මුද්‍රිත පුවත්පත් පිටපතක් අතට අරන් කියෙවුවේ. එදා අපේ දෛනික දින චර්යාවේ එක් ප්‍රධාන අංගයක් බවට පත්ව තිබුණේ උදේ පුවත්පත අරන් කියවන එක. අද පුවත්පත් මිලට අරන් කියවන්නේ බොහෝදුරට අවුරුදු තිහට වඩා වයස පරම්පරාවයි. අපට උදේ අවදි වූ විගස තේ කෝප්පයක් ඕනෑ. ඒ වගේම පුවත්පතක් කියවන්න ඕනැ. එහෙත් අද වන විට මුද්‍රිත පිටපතක් අරන් පුවත්පත කියැවීමේ ක්‍රමය කෙමෙන් නව පරපුරෙන් ඈත්වෙමින් තිබෙනවා. එහෙත් මුද්‍රිත පිටපත කියැවීමේ පුරුද්ද ඈත්වුණාට පුවත් කියැවීමේ පුරුද්ද ඔවුන්ගෙන් ඈත්වෙනවා කියලා මම කියන්නේ නැහැ.
දැන් වෙලා තිබෙන්නේ මුද්‍රිත පිටපත වෙනුවට ජංගම දුරකතනය ඔස්සේ ප්‍රවෘත්ති, තොරතුරු සහ ප්‍රවෘත්ති වීඩියෝ කියැවීමයි. සිදුවෙලා තිබෙන්නේ පුවත්පත් කර්මාන්තය අවසානයකට පැමිණීමක් නොවෙයි. පුවත්පත් සහ ඒ සමාන අංශ කියැවීමේ ක්‍රමය සහ මාධ්‍ය වෙනස් වීම පමණයි.
මම එක් උදාහරණයක් සඳහන් කරන්නම්. අපේ ආයතනයට එක්තරා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් පුහුණුවීම් සඳහා එනවා. ඒ අයගේ විෂයය බවට පත්ව තිබෙන්නේ ජනමාධ්‍ය විෂයයයි. එහෙත් ඒ දරුවන්ගෙන් අපි ඇහුවාම කියනවා එයාලා පුවත්පත් කියවන්නේ නැහැ කියලා. අද නව පරපුර ඒ විදිහටයි සිතන්නේ. එහෙත් මම කියන්නේ නැහැ ඒ අය කියැවීම අතහැරලා කියලා.
අද මුද්‍රිත පිටපත වෙනුවට වට්ස්ඇප්, යූ ටියුබ්, ෆේස්බුක් වගේ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති ඇතුළු දේවල් දැන ගන්නවා. මම විශ්වාස කරන්නේ නැහැ පුවත්පත් කර්මාන්තය අවසානයකට පැමිණ තිබෙනවා කියලා. සිදුව තිබෙන්නේ මුද්‍රිත පිටපත නූතන පරම්පරාවෙන් ඈත්ව යාමයි. අනාගතයේදී මුද්‍රිත පිටපත වෙනුවට ඊ පිටපත කියවන යුගයක් එන්න පුළුවන්.
මීට අවුරුදු පහළොවකට කලින් ඉරිදා පුවත්පත් අලෙවි වූ ප්‍රමාණය, අවුරුදු දහයකට කලින් අලෙවි වූ ප්‍රමාණය, අවුරුදු පහකට කලින් අලෙවි වූ ප්‍රමාණය අද අලෙවි වන ප්‍රමාණය පිළිබඳව සංඛ්‍යාත්මකව බලන්න, එය ක්‍රමානුකූලව අඩුවෙලා තිබෙන්නේ. මිනිස්සු පුවත්පත් සහ තොරතුරු ලබා ගැනීම සම්පූර්ණයෙන්ම ඈත්කරලා කියලා එතැනින් මම කියන්නේ නැහැ. සෑම කෙනෙක්ම කුමක් හෝ මාර්ගයක් ඔස්සේ තොරතුරු ලබා ගන්නවා. ඒත්, සිදුව තිබෙන්නේ එදා පුවත්පතකින් පමණක් ලබා ගත් ක්‍රමය වෙනුවට නූතන ක්‍රම වෙත පාඨකයන් යොමු වීමයි.
කුමක් වුවත් පුවත්පත් කර්මාන්තය සම්පූර්ණ අවසානයක් වෙත යොමු වෙනවා කියලා මම නම් සිතන්නේ නැහැ.
ඇතිව තිබෙන මෙම අභියෝග ජයගැනීමට පුවත්පත් මොන විදිහේ ක්‍රමවේදයක් ද අනුගමනය කළ යුතුව තිබෙන්නේ?
අද පුවත්පත් කලාවේ පසුබැසීමක් තිබෙනවා නම්, එයට ප්‍රධාන හේතු රැසක් තිබෙනවා. ඒ අතර ආර්ථික වශයෙන් තිබෙන ගැටලු ද විශාල ලෙස බලපානු ලබනවා. ඒ වගේම පුවත්පත් කලාව පවත්වාගෙන යාමට ගත යුතු අලුත් උපක්‍රම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනැ. මුද්‍රිත පිටපත් ගැන පමණක් විශ්වාසය නොතබා ඊ පිටපත් ප්‍රචලිත කිරීම ද කළ යුතුයි.
ඒ වගේම පුවත්පත් කලාවේදියාගේ වෘත්තීයමය තත්ත්වය, සුබසාධනය ඉහළ නැංවීම මඟින් පුවත්පත් කලාවෙන් ඉවත්ව වෙනත් මාධ්‍ය වෙත පුවත්පත් කාලාවේදීන් යොමුවන එක වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා.
අද පුවත්පත් පවත්වා ගැනීමට තිබෙන තවත් ප්‍රබල අභියෝගයක් බවට පත්ව තිබෙන්නේ අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීමයි. පසුගිය කාලයේදී තීන්ත, කඩදාසි මිල වගේම යන්ත්‍ර සූත්‍රවල මිල ද ඉහළ ගියා. ඒ නිසා රජයට හැකියාව තිබෙනවා නම් මෙම අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් ලබා දීමට. එයින් පුවත්පත් කලාවේ අභිවෘද්ධියට ලොකු සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම පුවත්පත් මාධ්‍ය විෂයය ගැන විෂයානුබද්ධ දැනුම්වත් භාවයක් ලබා දීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම කළ යුතුයි. පුවත්පත් ආයතන හිමිකරුවන්, කර්තෘවරුන් සහ පුවත්පත් ආයතනය වගේ ආයතන එකඟතාව අනුව වැඩපිළිවෙළක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ආකාරයේ කටයුතු මඟින් පුවත්පත් කලාවට නව ජීවයක් ලබා දීමට හැකියාව ලැබෙනවා.
පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සුදුසුකම් සහ සීමා පිළිබඳ නිසි නියාමනයක් තවමත් සිදු වන්නේ නැහැ මේ තත්ත්වය නිවැරැදි කිරීම මඟින් පුවත්පත් කලාවට වෘත්තීයමයභාවයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා නේද?
ඔව්, පුවත්පත් කලාවේදියකුට එම වෘත්තියේ නියැළීමට තිබෙන මූලික සුදුසුකම් පිළිබඳ අවධානය යොමු කළ හැකි වැඩපිළිවෙළක් ඇති කරන්න හැකියාව තිබෙනවා. උදාහරණයක් විදිහට කිසියම් මූලික සුදුසුකමක් ඇති කළ යුතුයි. වෘත්තීය ගරුත්වය ඇතිවන වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන්ම පුවත්පත් කලාවේදියාට නිසි සුබසාධනයක් ඇති කළ යුතුයි. පුවත්පත් කලාවේදියා පමණක් නොවෙයි ඔහුගේ යැපෙන්නන් ද අදාළ සුබසාධන ක්‍රමවලට අනුගත කරන්න ඕනෑ. එහෙම වුණොත් තමයි මෙම පුවත්පත් කලාව කර්මාන්තයක් විදිහට වඩාත් ස්ථාවර විදිහට පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නේ.
ප්‍රවෘත්ති පළ කිරීමේදි පුවත්පතට එක් ප්‍රවෘත්තියක් පමණක් වන දෙයක් තවත් කෙනෙකුගේ ජීවිතය, ගරුත්වය, රැකියාව පිළිබඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රවෘත්තිය නිසා කෙනෙකුට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දේවල් ගැන පුවත්පත් කර්තෘවරු, හිමිකරුවන් අවධානය යොමු කර අවශ්‍ය දැනුම්වත්භාවයන් ඇති කරන්න ඕනෑ.
අද විදත් මාධ්‍ය ඔස්සේ පත්තර කියැවීම ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබෙනවා. පත්තර කියැවීම වැරැද්දක් නොවුණත් පුවත්පතේ ඇති දේවල් වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයා විසින් ඔහුට රිසි ලෙස ඉදිරිපත් කිරීම වගේම අදහස් දැක්වීම් සිදුවෙනවා. මේ තත්ත්වය නුසුදුසු දෙයක් නේද?
මේ ගැටලුව පිළිබඳව පුවත්පත් කර්තෘවරු, හිමිකරුවන් සහ පුවත්පත් කලාවේදීන් එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්න ඕනෑ. තමන්ගේ පුවත්පත්වල පළවන පුවත් විකෘති කර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කිරීම ගැන.
පුවත්පත් මණ්ඩලයට පැමිණිලි රැසක් එනවා. මේ වගේ දේවල් ගැන අගතියට පත් පිරිස් කියන්නේ පුවත්පතේ ප්‍රවෘත්තිය හරි. ඒත් ටෙලිවිෂනයේ ඉදිරිපත් කරන පුද්ගලයා ඒ ප්‍රවෘත්තිය විකෘති කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බව. අවාසනාවකට අපට ඒ සඳහා මැදහත් වෙන්න බැහැ. පුවත්පත නිවැරැදියි. සිදුව තිබෙන්නේ ටෙලිවිෂනයේ වැඩසටහන් ඉදිරිපත් කරන පුද්ගලයා නිසි අවබෝධයක් නැතිව අදහස් පළ කිරීමයි. මෙම වැඩසටහන් ඉදිරිපත් කරන ඇතැමුන්ට පුවත්පත් කලාව ගැන අවබෝධයක් නැහැ එවැනි විෂයය පිළිබඳ අවබෝධයක් නැති අය නිසා තමයි ගැටලු ඇතිවෙන්නේ. සමහර වෙලාවට වැඩසටහන් ඉදිරිපත් කරන්නාගේ මානසිකත්වය ද බලපානු ලබනවා. මෙවැනි හානිකර දේ ඉදිරිපත් වීමට. එනිසා පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන මේ ගැටලුසහගත දේවල් ගැන තදින් අවධානය යොමු කර කටයුතු කරන්න ඕනෑ. ඒ සඳහා කඩිනමින් සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ගන්න ඕනෑ.
උදිත ගුණවර්ධන
උපුටාගැනීම දිනමිණ පුවත්පත