තරුණ වයස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය!

ශ්‍රී ලංකාවේ මේ වන විට  බල පවත්නා ආඥා පනත් තුනක් සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සාක්ෂි ආඥා පනත, ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබද ආඥාපනත සං‌ශෝධනය කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සැප්තැම්බර් 16 දින පැවැත්වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

සාක්ෂි ආඥාපනතේ ඇතැම් වචන සහ යෙදුම් වර්තමානයේ භාවිත නොවන බැවින් ඒ වෙනුවට අලුත් වචන හා යෙදුම් යොා එම ආඥා පනත සංශෝධනය කිරීම සදහා 2016 ජුලි මස 05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව රජය පවසයි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයන් විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර එකී පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රජය පෙන්වා දෙන පරිදි ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥාපනතේ විධිවිධාන අනුව,අවුරුදු 14 ට අඩු තැනැත්තෙකු ළමයකු වශයෙන් අර්ථ නිරූපණය කර ඇති නමුත් තරුණ වරදකරුවන් ( පුහුණු පාසල්) පිළිබද ආඥාපනතට අනුව අවුරුදු 16-22 ත් අතර තැනැත්තන් තරුණ තැනැත්තන් වශයෙන් සදහන් කර තිබේ.

“තවද වයස අවුරුදු 16 ට අඩු ළමුන් විසින් සිදු කරනු ලබන වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් විශෝධන ක්‍රියාමාර්ග සදහා පරිවාස දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන සහතික ලත් පරිවාස පාසල්වලට යොමු කරනු ලබන අතර අවුරුදු 16 ට වැඩි ළමුන් විසින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් අධිකරණය මගින් බන්ධනාගාර ගත කිරීම් හෝ තරුණ වරදකරුවන් සදහා වන පුහුණු පාසලට යොමු කරනු ලබයි.”

එසේ වුවද, ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි අවුරුදු 18 ට අඩු තැනැත්තන්ට බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනය නියම නොකළ යුතු බව සදහන් කර ඇති බවයි රජය පවසන්නේ.

එබැවින්, මෙම නීතිමය සංකුලතාවන්ට විසදුමක් ලැබෙන පරිදි ළමයකු යනු වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරීම පිණිස ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඊට සමගාමීව තරුණ තැනැත්තෙකු යනු වයස අවුරුදු 18 සහ 22 අතර තැනැත්තෙකු ලෙස අර්ථ නිරූපණය කිරිම සදහා තරුණ වරදකරුවන් ( පුහුණු පාසල්) පිළිබද ආඥාපනත සං‌ෙශා්ධනය කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Social Sharing
නවතම