වැඩ බාරගෙන මාසයයි, රාජ්‍ය ඇමැති ළඟ තොරතුරු නෑ!

ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට වගකීම් පවරා මාසයක් ගත වී තිබියදීත් අදාළ ක්ෂේත්‍රයේ  කිසිවකු පිලිබඳ තොරතුරු ඔහුගේ අමාත්‍යාංශයේ නොමැති  බව හෙළි වී තිබේ.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි ස්වකීය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ක්ෂේත්‍ර වල කිසිවකුගේ හෝ දත්ත මේතාක් තමන් සතුව නැත.

“ලංකාවේ දේශිය අත් යන්ත්‍ර රෙදි පිළි නිශ්පාදකයන්ගේ, ඒ වගේම බතික් කර්මාන්තයේ නියැලි ඉන්න අය, ඒ වගේම දේශීය වශයෙන් නිමි ඇදුම් නිශ්පාදනය කරන පිරිස්, මේ අයගේ කිසිදු දත්තයක් අපේ අමාත්‍යාශය තුළ දැනටමත් අන්තර්ගත වෙලා නැහැ,” යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනමාධ්‍ය වෙත බෙදා හැර ඇති වීඩියෝ නිවේදනයක් මගින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටී.

එම තොරතුරු වහාම සිය අමාත්‍යාංශය වෙත ලබා  දෙන ලෙසයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

පුවත්පත්  දැන්වීමක් මගින්  එම තොරතුරු  ඉල්ලා තිබෙන බව පවසන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වීම සදහා සියළු තොරතුරු අමාත්‍යංශය වෙත ලබා දෙන ලෙසයි.

ප්‍රචාරයක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී.ල.නි.ප මාධ්‍ය ඒකකය විසින්   ජනමාධ්‍ය ආයතන වෙත සැප්තැම්බර් 16 බදාදා  බෙදා හැර  තිබෙන වීඩියෝ පණිවිඩයේ සදහන් පරිදි විස්තර එවිය යුතු ආකාරය දැන ගැනීම සදහා පුවත්පත් දැන්වීම බැලිය යුතුය.

 

 

Social Sharing
නවතම