සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට…

මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි.

ඔහු පසුගිය සතියේ සහභාගී වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඉදිරි දුෂ්කර මාර්ගය සඳහා ජනවරමක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සහතික කරන මැතිවරණ සඳහා බලාසිටින පිරිස් මෙය ධණාත්මකව දකිනු ඇත. රට ගෝලීය වශයෙන් පිළිගැනුණු බංකොලොත්භාවයේ ගිලී ඇති අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක රටේ මුල් පුටුවට දැරුවද, රටේ බලවත්ම තනතුර වන වත්මන් ජනාධිපති ධුරයට එවැනි ජනවරමක් ලැබී නොමැත.

පළාත් සහ ප්‍රාදේශීය යන රජයේ අතරමැදි මට්ටම් දෙකම, තේරී පත් වූ නියෝජනයක් නොමැතිව අක්‍රියව පවතී. ජනවරමකින් තොරව පාලනය ඉදිරියට ගෙනයෑම පාලකයන්ට ගැටළුවක් විය නොහැකි නමුත්, අවසානයේ එමගින් දිගුකාලීන කැරලි ගැසීමකට මග පෑදීමට ඉඩ ඇත.

අවාසනාවකට මෙන්, මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැබෑ අභිප්‍රාය පිළිබඳ සැකයට වඩා වැඩි යමක් පවතී. වත්මන් ජනාධිපතිවරයා දශක ගණනාවක් පුරා දිවෙන ආණ්ඩු තුනක සාමාජිකයකු වූ අතර, ඒ කිසිදු අවස්ථාවක නියමිත වේලාවට මැතිවරණ නොපැවැත්විණි. 1981 දී මහමැතිවරණය වසර හයකින් කල්දැමීමට රජය ජනමත විචාරණයක් පවත්වන විට ඔහු අධ්‍යාපන ඇමැතිවරයා විය. 2017 දී, පළාත් සභා සඳහා මැතිවරණය කල්දැමුණු මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයක් රජය විසින් ආරම්භ කරන විට ඔහු අගමැති විය. නැවතත්, 2022 දී, අද දක්වා කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව රජය ප්‍රකාශ කරන විට ඔහු ජනාධිපති විය.

මෙම සැකය තවත් වැඩි කරමින්, කැබිනට් ප්‍රකාශක සහ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ, “මුල්‍ය වර්ෂයක ආදායම් සහ වියදම් සමතුලිත කිරීම රජයට ඇති වඩාත්ම දුෂ්කර කාර්යයයි. දිගු කාලීන අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණ සෙවීමේ ක්‍රියාවලියක අප නිරතව සිටින අතර, ඒ අතරතුර මේ වසරේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් වෙන්කර තිබේ” යනුවෙනි.

රුපියල් බිලියන 10ක් යනු මැතිවරණ කොමිසම 2022 දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කළ මුදලයි. ප්‍රශ්නය වන්නේ මේ කාලය තුළ, ඉහළ උද්ධමනයක් පවතින අවස්ථාවක, ජාතික මැතිවරණ දෙකෙහිම වියදම් පියවා ගැනීමට මෙම මුදලම ප්‍රමාණවත් වේද යන්නයි.

නිදහස සීමාකිරීම

2024 දී, ඇත්ත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වෙන බවට ඇඟවුම් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වී තිබූ ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට රජය විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. නැවත අලුත් කළයුතු රජයේ බලපත්‍ර මත ඔවුන් සහ ඔවුන්ගේ පවුල් දශක ගණනාවක් තිස්සේ භෝග වගාකර ඇති ඉඩම් කට්ටිවල හිමිකාරීත්වය ගොවි පවුල් මිලියන දෙකකට ලබාදීමට රජය තීරණය කර ඇත. වතු ක්‍ෂේත්‍රයේ, මෙතෙක් තේ සහ රබර් වතුවල දශක ගණනාවක් වෙහෙස මහන්සි වී වැඩකළ ඉඩම් නොමැති වැටුප් ලබන්නන්ට තමන්ගේම නිවාස සහ ගෙවතු සාදාගැනීමට ඉඩම් හිමිකම ලබාදෙන බවද ප්‍රකාශවී තිබේ.

ඉඩම් අයිතිය ජනතාව වෙත පැවරීම මගින් එක්කෝ ඒවායේ ආයෝජනය කිරීමට හෝ මහා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන බහුජාතික සමාගම්වලට විකිණීමට ඔවුන්ට බලය ලැබෙනු ඇත. එහෙත් පවතින දුප්පත්කම නිසා මේ ඉඩම අඩු මිලට අලෙවි නොකළ යුතු බවට වගබලාගත යුතුය. එහි ප්‍රතිඵලය සැබවින්ම ගොවීන්ට ලැබීමට නම් අවම වශයෙන් වසර 05ක් සඳහා ඉඩම් විකිණීමට සීමා පැනවීමට වැදගත් විය හැකිය.

සාර්ව ආර්ථික දත්ත මගින් ආර්ථික වර්ධනය ඉහළ යන බව පෙන්නුම් කරන බැවින් ජනගහනයේ දුප්පත් කොටස් මත බර පැටවෙන බදු අඩුකිරීමේ හැකියාව ගැන ද ජනාධිපතිවරයා කතාකරයි. ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට ජයගැනීමට ඇති ස්ථිරම මාර්ගය වනුයේ ජනතාවගේ ජීවන තත්ත්වය යථාතත්ත්වයට පත්කිරීම සහ වැඩිදියුණු කිරීමයි. මෑතක සමාරම්භක සැසියේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදී, වැඩිවන දරිද්‍රතාවය, මන්දපෝෂණය, පාසල් හැරයෑම සහ සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ බිහිසුණු පුවත් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම්වලට එරෙහිව ගතයුතු පියවර ගැන අවධානය යොමුකර තිබිණි.

“පෙර නොවූ විරූ වේගයකින් කඩා වැටුණු රටේ ආර්ථිකය, V හැඩයේ ප්‍රකෘතිමත්වීමේ බලාපොරොත්තුවක් හා සමානවන පරිදි රොකට් වේගයෙන් ඉහළ යමින් කැපීපෙනෙන පෙරළියකට ලක්ව ඇති බව” ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

මහජනතාවගේ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට අමතරව රජය උත්සාහ කරන්නේ මහජන විරෝධයන් හමුවේ තම ස්ථාවරය ශක්තිමත් කර ගැනීමටත්, විශේෂයෙන්ම ඊට විරුද්ධ අදහස් සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට හෝ සීමා කිරීමටත් වගබලා ගැනීමටය. එම උත්සාහයන් පැමිණෙන්නේ, අදහස් පළකිරීම නීතිවිරෝධී ලෙසින් නම්කිරීම සහ ඒවා අපරාධ ලෙස නම්කිරීම වැනි නීතිමය ස්වරූපයෙනි.

සමාජ මාධ්‍ය භාවිත කරන විවේචනාත්මක හඬවල් නිශ්ශබ්ද කරමින් මහජන විවාදය තමන්ට පක්ෂව හැරවීම සඳහා රජයේ සාමාජිකයන්ට බලය ලබාදෙන කුරිරු නව නීති ත්‍රිත්වයක පළමුවැන්න ඔන්ලයින් ආරක්ෂණ පනත නියෝජනය කරයි. පාර්ලිමේන්තුවේ මතභේදාත්මක තත්වයන් යටතේ මෙම පනත් කෙටුම්පත සම්මත විය.

අවසන් කිරීමට ආසන්න ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයට තර්ජනයක් වන විකාශන අධිකාරී පනත් කෙටුම්පත යන තවත් කුරිරු නීති දෙකක් සම්පාදනය වෙමින් පවතී. වත්මන් අර්බුදයට රට ගෙනගිය දේශපාලන නායකයන්ව ප්‍රසිද්ධියේ විවේචන කරන සහ විකල්ප යෝජනා කරන හඬවල් මෙම නීති මගින් නිහඬ කිරීමට ඉලක්ක කරගෙන සිටින බවක් පෙනෙන්නට තිබීම මෙහි ඇති හාස්‍යයට කරුණයි.

පිළිගත නොහැකි නීති

සිවිල් අවකාශයට එරෙහිව මතුවීමට ඇති අලුත්ම තර්ජනය වන්නේ, සිවිල් සංවිධාන විසින් තමන් කරන කාර්යය වෙනුවෙන් නීතිමය තත්ත්වය ලබාගැනීම සඳහා භාවිත කරන ලද 1980 ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත ප්‍රතිස්ථාපනය කර, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය සඳහාවන කෙටුම්පතක් හඳුන්වාදීමට කෙරෙන සැලසුමයි. එම නීතියේ නමට අනුව එය අනිවාර්ය ලියාපදිංචි කිරීමක් නොවේ. ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට උරුම වූ පොදු නීති සම්ප්‍රදායට අනුව ලියාපදිංචිවීමට කැමති සංවිධානවලට විකල්ප රාශියක් පවතී. නීත්‍යානුකූල ස්වරුපයක් ලබාගැනීමට හෝ රජයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය මට්ටමින් ලියාපදිංචිවීමට අවශ්‍ය නම් සමාගම් පනත යටතේද එය සිදුකළ හැක. මේවන විටත් රාජ්‍ය නොවන සංවිධානවලට මුදල් ලැබෙන්නේ මහ බැංකුව පදනම් කරගෙන නිසි අවධානයෙන් කටයුතු කරන බැංකු හරහාය. ඒවා පරිත්‍යාගශීලීන්ගේ විගණනයට යටත් වේ. ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවූ රාජ්‍ය නොවන සංවිධාන අනෙකුත් රාජ්‍ය ආයතන විසින් අධීක්ෂණය කරනු ලැබේ.

පොලිසිය ක්‍රියාත්මක වන මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මේ වන විට ජාතිකව හා අන්තර්ජාතිකව අවධානයට ලක්ව ඇත්තේ, එහි මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය හේතුවෙන් දස දහස් ගණනක පොලිස් වැටළීම් සහ සැකසහිත තත්ත්වයන් යටතේ අත්අඩංගුවට ගැනීම් හේතුවෙනි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පිහිටි ස්ථානය පවතින්නේ, මහජන අමාත්‍යාංශය යටතේය. මෙම නීතිය හා සාමයේ රාමුව යටතේම රජය විසින් සිවිල් සංවිධාන සළකන බවට ලබාදෙන ඇඟවුම විසින් නිර්මාණය කෙරෙන්නේ සෘණාත්මක පණිවිඩයකි.

මෙම නව නීතිය, ඔවුන්ට අපරාධ නඩු පැවරීමට සහ සිරගත කිරීමට අවස්ථාව විවෘත කරනු ඇත. ‘මූලික සංස්කෘතික වටිනාකම්’ වලට එරෙහිව යන බව පවසමින් සංවිධාන අත්හිටුවීමට හෝ වසා දැමීමටද මෙමගින් හැකිය. මෙම සීමාවන් අනුව, අනාගමික රාජ්‍යයක් ඉල්ලා සිටීම, සමලිංගික අයිතිවාසිකම් සඳහා හෝ ගබ්සා කිරීමේ අයිතිය සඳහා හඬනැගීම, මූළික සංස්කෘතික වටිනාකම්වලට පටහැනි යැයි අර්ථ දැක්විය හැකිය. ආණ්ඩු තම විරුද්ධවාදීන් ලෙස දකින අයට හෝ යටත් නොවන අයට පීඩා කිරීමට නීති භාවිත කර ඇති ආකාරය අනුව, මෙය බිය උපදවන යෝජනාවකි.

2018 දී වත්මන් ජනාධිපතිවරයා අගමැති වූ මීට, පෙර පැවැති ආණ්ඩුවද එවැනිම නීතියක් ගෙන ආවේය. එවකට ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය පැවැතියේ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතේය. අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද අභියාචනා සම්බන්ධයෙන් නැසූ කන්ව සිටිද්දී, සිවිල් සමාජ නායකයෝ පිරිසක් එවකට අගමැති වික්‍රමසිංහ හමුවී තම ආයාචනය ඔහු වෙත ඉදිරිපත් කළහ. දින කිහිපයක් ඇතුළත නීති කෙටුම්පත හකුළාගත් අතර, සිවිල් සමාජය සඳහා ඔවුන්ගේම නිර්දේශිත රාමුවක් සම්පාදනය කරන ලෙස අගමැතිවරයා විසින්, කරුණු ඉදිරිපත් කළ එම සිවිල් නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, වසර දෙකක කාලයක් සිවිල් සමාජයක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ආකෘතියක් සකස් කරන ලද අතර, ලාභ නොලබන අංශය වෙනුවෙන් නීතිමය රාමුවක් සඳහා මාර්ගෝපදේශ මූලධර්ම සැකසීමට පියවර ගැනිණි. මෙම මාර්ගෝපදේශ මීට වසරකට පෙර රජයට ද ඉදිරිපත් කර ඇති නමුත් ඒවායේ අන්තර්ගතය හෝ අරමුණු වර්තමාන නීති කෙටුම්පතේ නොමැත. මෙම තත්ත්වය තුළ, 2018 වසරේ දී මෙන්, ඔහුව දැන් ජනාධිපතිවරයා ලෙස හමුවීමට සිවිල් සමාජය බලාපොරොත්තු වනු ඇත. ප්‍රජාවගේ සහ රටේ සමස්ත අභිවෘද්ධිය සඳහා හැරවිය යුත්තේද එම රෝදයම විය හැකිය.

ආචාර්ය ජෙහාන් පෙරේරා

Social Sharing
අවකාශය නවතම පුවත්