අනුර දිසානයකගේ ඉන්දියානු සංචාරය – විදර්ශන කන්නන්ගර

ඉදිරියේ රටේ පාලන බලය ලබාගැනීමේ විභවයක් පෙන්නුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා (හා කණ්ඩායම) වෙත නවදිල්ලි ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනය පිළිගෙන ඊට සහභාගී වීමේ වරදක් මම නොදකිමි. ඔවුනගේ ඉදිරි ආණ්ඩු බල අරමුණ පැත්තෙන් එය වාසියක් වන බවද පෙනෙයි.
අනෙක් අතට 80 දශකයේ ජවිපෙ උපායමාර්ගය තුළ කේන්ද්‍රීයව පැවති පැරණි ‘ඉන්දීය ව්‍යාප්තවාදය’ පිළිබද කතිකාව යළි පුනරුච්චාරණය කිරීමේ තේරුමක් ද නැත. එම සංදිස්ථානමය යුග මොහොත අද වනවිට අවසන් ය. එදා තිබුණේ ඉන්දීය දේශපාලන-යුධමය අත පෙවීමක් නම් අද තිබෙන්නේ ඊටත් වඩා දැවැන්ත ලෙස නව දිල්ලි ආණ්ඩුවේ කලාපීය බල අරමුණු සමග ගැටගැසුණු ඉන්දීය ප්‍රභූ ව්‍යාපාරික පංතියේ ‘ආක්‍රමණයකි’. එය ඉතා බලවත් හින්දුත්වවාදී නව ලිබරල් ව්‍යාප්තකරණයක් ද වේ.
මේ වනවිට එම ඉන්දීය ව්‍යාපාරික-නව දිල්ලි ආණ්ඩු අක්ෂය විසින් ලංකාව ග්‍රහණයට ගෙන ඇති හා ඉදිරියේ තවදුරටත් දියත් කිරීමට නියමිත සැලසුම් කිහිපයක් මෙසේය.

* ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්දියානු ආර්ථික කලාපයක් කිරීමේ නාමයෙන් ත්‍රිකුණාමල ස්වාභාවික වරාය ඇතුළු ඉඩම් කොල්ල කෑම
* ලංකාව හා ඉන්දියාව අතර විදුලි බල පද්ධතිය මන්නාරමින් සම්බන්ද කිරීම නාමයෙන් රටේ බලශක්ති ස්වාධිපත්‍යය අයිති කරගැනීම
* ලංකාව හා ඉන්දියාව අතර තෙල් ප්‍රවාහන නලයක් එලීම හරහා ලංකාවේ නැව් තෙල් වෙළදාම අයිති කරගැනීම
* ලංකාවට අයිති හයිඩ්‍රෝ කාබන් ගවේෂණය හා නිෂ්පාදනය නාමයෙන් මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික සම්පත් කොල්ලකෑමේ වැඩපිළිවෙල
* ලංකාවේ වෙළද කටයුතු සදහා ඉන්දියානු රුපියල යොදා ගැනීම
* අරමුණ අපැහැදිළි කෙරුණු ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික බිම් තීරුවක් සංවර්ධනය කිරීමේ සැලසුම
* සාම්පූර් වල සූර්‍ය බලශක්ති මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ සැලසුම
* ඒකාබද්ධ සත්ව පාලන වැඩසටහන
* කොළඹ වරාය නැගෙනහිර ජැටිය,මත්තල ගුවන් තොටුපොළ, ත්‍රිකුණාමලය සිට ඉන්දියාව තෙක් දිවෙන දුම්‍ රිය මාර්ගය, අනුරාධපුර පොස්පේට් නිධිය ආදී ක්ෂේත්‍ර වෙත ඉදිරියේ සිදුවීමට නියමිත ඉන්දීය මැදිහත් වීම්

ලංකාවේ ස්වාධිපත්‍යය අනතුරට හෙළන ඉන්දීය ව්‍යාපාරික-ආණ්ඩු අණසක කුමක්දැයි විදහාපාන ලැයිස්තුව තවත් දිගුය.ඒ අනුව මගේ (අපගේ) නිරීක්ෂණය වන්නේ අනුර කුමාර සහෝදරයා ඇතුළු ජජබ කණ්ඩායම ඉහත කරුණු සම්බන්දයෙන් නවදිල්ලි රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග අදහස් හුවමාරු කරගත්තාද ? එසේ නම් සාකච්චාවේ තීරණ මොනවාද ? ඒ කිසිවක් අදාළ නොවුනා නම් ඉහත තීරණාත්මක කරුණු සම්බන්දයෙන් අනුර ඇතුළු ජාජබේ ස්ථාවරය කුමක්ද ? ජාජබ මේ භූ දේශපාලනික ව්‍යාපාරික ආධිපත්‍යය ගැන දන්නවාද ? ඉදිරියේ ඒ සම්බන්දයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ? නැත්නම් ඒවාට එකග වෙනවාද ?

පෙනෙන ආකාරයට හා මා වැරදි නැති නම් අනුර ඇතුළු කණ්ඩායම ඒ කිසිවක් සාකච්චාවට ගෙන නැත. වගකීම් සහගත දේශපාලන ව්‍යාපාරයක් නම් යටකී අත්‍යවශ්‍ය කරුණු සම්බන්දයෙන් ඉන්දීය ආණ්ඩුව සමග එළඹෙන සාකච්චාමය එකගතාවය කුමක්දැයි අනාවරණය විය යුතුය.
ඉන්දීය ආණ්ඩුවත් ජවිපෙ/ජජබ ආණ්ඩුවකට කොල එළියක් දක්වා ඇතැයි චූන් වෙන පිරිසට කීමට ඇත්තේ එවැනි ආණ්ඩුවක ඉක්මන් රතු එළිය පත්තු කිරීමේ ස්විචයද නව ඉන්දීය ව්‍යාපාරික-දේශපාලන ආධිපත්‍යය විසින් තමන් සතු කරගෙන ඇති බවයි. රාජතාන්ත්‍රික දේශපාලනයේදී ස්ථාවරයක් නොගැනීම හෝ නොපෙන්වා සිටීම දක්ෂිණාංශික දේශපාලන අක්ෂයන්‍ට වාසි දායක විය හැකි වුවද වාමාගාමී ව්‍යාපාරයක් ආණ්ඩු බලය දැරීමට සිතනවා නම් එවන් අස්ථාවරත්වයන් මාරාන්තික අනතුරක් කැදවා ගනු ඇත.

Social Sharing
නවතම පුවත් විශේෂාංග