ලිබරල්වාදය සහ ජාතිකවාදය

සාමාන්‍යයෙන් ලිබරල්වාදය සහ ජාතිකවාදය අප තේරුම් ගන්නේ එකිනෙක පරස්පර දේ ලෙසයි. ලිබරල්වාදීන් යනු නිදහස්කාමී මිනිසුන් ය. ඔවුන් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ජීවිතය විඳීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මධු විතක් තොල ගෑමට, මිතුරන් සමග විනෝද වීමට, විනෝද ගමන් යාමට, සාද පැවැත්වීමට, ක්‍රිකට් තරඟ නැරඹීමට ඔවුන් පක්ෂපාතී වෙයි. ඔවුන් ජනප්‍රිය සංස්කෘතියට පක්ෂපාතී වන අතර ඒවා යටපත් කරමින් සම්භාව්‍ය කලාව ඔසවා තැබීමට එරෙහි වෙයි. අන් සියල්ලට වඩා ලිබරල්වාදීන් විරුද්ධ වන්නේ සම්ප්‍රදායටයි. සම්ප්‍රදාය විසින් මිනිසා ගේ නිදහස, විනෝද වීමට, තමන් කැමති දෙයක් කිරීමට ඇති නිදහස යටපත් කිරීමට එරෙහිව ලිබරල්වාදීන් සටන් වදියි.

මෙවැනි චිත්‍රයකට අනුව ජාතිකවාදීන් යනු ලිබරල්වාදීන් ගේ පරම සතුරන් ය. ඔවුන් සදාචාරය, සම්ප්‍රදාය වෙනුවෙන් පෙනී සිටියි. ඔවුන් ආගමික විමුක්තිය වෙනුවෙන් පෙනී සිටියි. එනිසාම ඔවුන් එය පදනම් වන සංස්කෘතිය ආරක්ෂා කරයි. ඔවුන් ජනප්‍රිය සංස්කෘතියට පක්ෂපාතී නොවන්නේ ද මේ නිසාය. ඒවා බොහෝ විට විදේශීය සංස්කෘතීන් අනුකරණය කිරීමක් ලෙස ඔවුන් හඳුනා ගනියි. නිදහස් ලිංගිකත්වය ඔවුන් දකින්නේ වරදක්, පාපයක්, දෝෂයක් ලෙසයි. 80 දශකයේ ජනප්‍රිය වූ වචනයකින් කියන්නේ නම් ඔවුන් ‘කොකා කොලා චොකා බයිලා’ සංස්කෘතියට විරුද්ධ වෙයි. ඔවුන් ප්‍රිය කරන්නේ වැවයි දාගැබයි ගමයි පන්සලයි එකට තිබෙන සමාජයකි.

අප අද අත්විඳින්නේ මේ සරල බෙදීම අර්බුදයට යන අවස්ථාවකි. එය අපට මෙසේ සාරාංශ කළ හැක: අපේ රටේ ලිබරල්වාදීන් සහ ජාතිකවාදීන් ජාතික ජන බලවේගයේ නැගීමට එරෙහිව පොදු සන්ධානයකට පැමිණ තිබේ. මේ වෙනුවෙන් ඔවුන් අතර තිබෙන අභ්‍යන්තර පරස්පරතා ඉතා පහසුවෙන් දෙපාර්ශවය විසින්ම අමතක කරයි. ඒවා විසඳා ගැනීමට පෙර ජාතික ජන බලවේගය විසින් නියෝජනය කරන එක්තරා අදහසක් පරාජය කිරීම ප්‍රමුක වනවා කියා ඔවුන් වටහා ගනියි. ‘කාල් මාක්ස්’ යන නම අපට මෙහිදී රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැක. එම නමින් නියෝජනය වන්නේ ඔවුන් සැබැවින්ම විරුද්ධ වන දෙයට කියා මේ දෙපිරිසම හොඳින් දනියි. ‘සැබෑ සතුරා’ වන්නේ මෙය මිස ඔවුන් අතර තිබෙනා ගැටුම් නොවන බව ඔවුන් දනියි. ‘සම්ප්‍රදාය සහ සංස්කෘතිය’ ආරක්ෂා කරන්නේ ද එය කඩා දමන්නේ ද වැනි ප්‍රශ්න විසඳීම පසුවට කල් දමා වඩා ප්‍රමුඛ ප්‍රශ්නය හමුවේ ඔවුන් එකිනෙකා වැළඳ ගන්නේ මෙම නිසාය. කොකා කෝලා චොකා බයිලා කරුවන් සහ වැවයි දාගැබයි ගමයි පන්සලයි පිරිස අතර බෙදුම් රේඛාව මැකී යයි.

1776 වසරේ ඇමරිකානු නිදහස් ප්‍රකාශයෙන් 1789 ප්‍රංශ විප්ලවයේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශය වෙන් කරන තීරණාත්මක සාධකය කුමක්ද? අප අත්දකිමින් තිබෙන්නේ මේ වෙනසේ ඉතාම ප්‍රායෝගික, ආනුභුතික දෘශ්‍යමානවීමකි.

උපුටා ගැනීම –

බටහිර ඉවුරේ දර්ශනය facebook පිටුවෙන්

Social Sharing
පුවත් විශේෂාංග