අධිවේගී මහාමාර්ග විකුණන්නේවත් බදු දෙන්නේවත් නෑ!

අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

අමාත්‍යාංශ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සේවකයන් සියලු දෙනා වර්ජනයක් පිළිබඳ දැනුම් දී තමන්ගේ රාජකාරි කටයුතුවලින් අද ඉවත්ව සිටිනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රසූත්‍ර යනාදියත් ක්‍රියාත්මක කිරීමට නොදී ඒවා ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. රාජ්‍ය දේපළවලට එවැනි දෙයක් සිදු නොකරන ලෙසට අපි ඔවුන්ට දැනුම් දුන්නා. වර්ජනය කළාට කමක් නැහැ. ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් අසනීප නිවාඩු දමා බලහත්කාරයෙන් සියලු සේවකයන් මේ වර්ජනයට ඇද දමා තිබෙනවා. රාජ්‍ය දේපළ නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ජනතාවගේ ආරක්ෂාව සැලසිය යුතුයි. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා අධිවේගී මාර්ගයට යතුරුපැදි වැනි වාහන දමා ධාවනය කරන්න ගතහොත් විශාල අනතුරු රැසක් ඇති වීමේ අවදානමක් පවතිනවා. එවැනි අනතුරු සිදු නොවීමට පොලිසිය හා සෙසු ආරක්ෂක අංශ ඒ සඳහා යොදවා තිබෙනවා. රජයට අහිමි වන ආදායම සම්බන්ධයෙන් මේ වර්ජනයට සම්බන්ධ පුද්ගලයන් වගකිව යුතුයි. කිසියම් ගැටලුවක් ඇති විය හැකි නිසා අතුරුගිරිය හා කොට්ටාව පොලිසිවලට මේ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. පොලිසියට සහ හමුදාවට යන්ත්‍රසූත්‍ර නැතුව ටිකට් පත්‍ර නිකුත් කිරීමට ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. රට ආර්ථික වශයෙන් පවතින තත්ත්වය යටතේ ආදායමක් මේ විදිහට අහිමි කිරීම බරපතළ අපරාධයක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :

මේ අධිවේගී මාර්ග විකුණන්න සූදානමක් පවතිනවා කියලා අධිවේගී මාර්ගවල සේවය කරන දරුවන්ට විශාල බයක් තියෙනවා. ඒ අයගේ රැකියා නැති වෙයි කියලා ඔවුන් හිතනවා. අධිවේගී මාර්ග බදු දෙනවාද විකුණනවා ද කියලා මම ඇමැතිතුමාගෙන් අහනවා.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා:

මාර්ග සංවර්ධන අධිකාරියේ එකම සේවකයෙකුගේවත් රැකියා අහිමි වන්නේ නැහැ. ඒ ගැන ස්ථිර ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. අධිවේගී මාර්ග විකුණන්නෙ බදු දෙන්නේ නැහැ.

කිරිඇල්ල මහතා –

සේවකයන්ට ඇත්ත කිවුවා නම් ඉවරයිනේ. එයාලට බයක් තියෙනවා. මමත් මහාමාර්ග ඇමැතිවරයකු විදිහට වැඩ කළා. ඒ නිසා ඒ අය මට කතා කළා. මට නම් මේකෙන් වැඩක් නැහැ. අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව වංගු ගහනවා.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා

මහාමාර්ග, අධිවේගී මාර්ග මුදල් අමාත්‍යාංශය යටතට පවරාගෙන තියෙනවා. හැබැයි පරිපාලනය කරන්නේ අපි. කාගෙවත් රැකියා අහිමි වන්නේ නැහැ.

Social Sharing
ආර්ථික නවතම පුවත්