
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රකාශ වැළැක්වීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය විසින් නිෂේධ කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අන්තර්ජාල සුරක්ෂිතතා පනත (Online Safety Act) යටතේ සමාජ මාධ්‍ය ජාල කිහිපයකට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ බව එම පක්ෂය සඳහන් කරයි.
රෝහණ විජේවීර ඝාතනයට ලක්වූ බව පැවසෙන වකවානුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා, තමන් එම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවකු බව පවසමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය එම සිදුවීමට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබේ.
එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුව ඒවා වැළැක්වීම සඳහා අන්තර්ජාල සුරක්ෂිතතා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
කෙසේ වෙතත්, අද නඩුව කැඳවූ අවස්ථාවේදී එය නිෂේධ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරයි.
මේ අතර, රෝහණ විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඉන්ද්‍රානන්ද ද සිල්වා මීට වසරකට පමණ පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ද එම පක්ෂය පවසයි.
අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව ඉන්ද්‍රානන්ද ද සිල්වා ප්‍රකාශ කර තිබියදීත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා විවිධ චෝදනා සහ මත ඉදිරිපත් වී ඇති අතර, ඉන්ද්‍රානන්ද ද සිල්වා විසින් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් ද නිසි විමර්ශනයක් සිදුකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය වී තිබේ.
