ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කරන්න…

ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව තුළ අවම විනය හෝ පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය. පාර්ලිමේන්තුවේ පෙරේදා දිනයේදී ඇති වූ විනය විරෝධී සිදුවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දක්වන අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ප්‍රජාත්‍රන්තවාදය යනු මහජනතාවගේ විශ්වාසය මත රැඳෙන දෙයක් බවයි. පාර්ලිමේන්තුවට මහජනතාවගේ ගෞරවය හිමි වන්නේ මහජනතාව තුළ ඒ පිළිබඳව විශ්වාසයක් ඇති නිසා බව හෙතෙම කීය.

පාසල් දරුවන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනා රටට වැදගත් හරයාත්මක දේවල් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව ද හෙතෙම කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට නොවන බව ද ඇමතිවරයා පැවසීය. පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බව පැවසූ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන බව ද සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පැමිණි බව කියමින් ඇතැමුන් උදේට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට ප්‍රහේලිකාවක් බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසිය.

අපේ ස්ථාවර නියෝගවල පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු ආකාරය ලියලා තිබෙනවා. අද පාර්ලිමේන්තුව පවතින අතරතුර කී දෙනෙක් දුරකතන ඇමතුම්වල යෙදිලා ඉන්නවාද? අගමැතිතුමටත්, විපක්ෂ නායකටත් මටත් ඒ වගකීම තිබෙනවා. අපි පාර්ලිමේන්තුවේදී අවම විනය පවත්වාගෙන යන්න ඕන. උදය වරුව පුරාවට අපි ජනතාවගේ ප්‍රශ්න කතා කරනවද? ඒකද මේ පාර්ලිමේන්තුවේ කාර්ය භාරය. මේ රටේ ජනතාවට මෙම පාර්ලිමේන්තු ක්‍රමය එපා කරවන දෙයක් මේ කරන්නේ.

Social Sharing
නවතම පුවත්