
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර, ඔහුගේ සිරුර ඇහැළියගොඩ කරඳන ප්‍රදේශයේ දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී මෙරට ක්‍රියාත්මක බවට සැක කෙරෙන ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාල පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ හාඕ පොන් නමැති, පරිගණක අපරාධවල නිරත ජාලයක ප්‍රධානියකු ලෙස සැලකෙන චීන ජාතිකයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔහු ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන කණ්ඩායම ද වියට්නාමය, කාම්බෝජය ඇතුළු රටවල් කිහිපයක් කේන්ද්‍ර කරගෙන පරිගණක අපරාධවල නිරත ජාලයකට සම්බන්ධ බවට පොලීසිය සැක කරයි.
මූලික විමර්ශන අනුව, පරිගණක අපරාධ මඟින් උපයාගත් මුදල් හා ඒ සම්බන්ධ කප්පම් ඉල්ලීම් පිළිබඳ ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවට තොරතුරු ලැබී තිබේ.
මියගිය පුද්ගලයා සතුව කාම්බෝජය සහ සුරිනාමය යන රටවලට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබී ඇති අතර, ඒවායේ එකම ඡායාරූපය තිබුණද වෙනස් නම් සඳහන්ව ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කාම්බෝජ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් බවත්, එය ව්‍යාජ ලෙස සකස් කළ එකක්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් සඳහන් වේ.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මියගිය පුද්ගලයා මාස හයක පමණ කාලයක් මෙරට රැඳී සිට ඇති අතර, විදේශිකයන් මෙරටට ගෙන්වා හැකර්වරුන් යොදාගෙන පරිගණක ආශ්රිත අපරාධ මෙහෙයවා ඇති බවට සැක කෙරෙන බවයි.
පොලිස් විමර්ශන අනුව, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ජංගම දුරකතනය ලබාගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඔහු සතුව ඩොලර් මිලියන ගණනක මුදල් තිබූ බවටත්, එම මුදල් ජංගම දුරකතනය හරහා වෙනත් ගිණුම්වලට මාරු කිරීමේ අරමුණින් ඔහු පැහැරගෙන ඇති බවටත් විමර්ශකයන්ට තොරතුරු ලැබී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හත්දෙනකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනකු රටින් පිටවීමට සූදානම්ව ගුවන්තොටුපොළට පැමිණ සිටියදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. සෙසු සැකකරුවන්ට රටින් පිටවීමට නොහැකි වන පරිදි අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් භාවිත කළ බව කියන වෑන් රථයක තිබී වායු පිස්තෝලයක් සොයාගෙන ඇති අතර, තවත් වායු පිස්තෝලයක් වරාය නගරය ආසන්න මුහුදට වැටී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. පසුව කිමිදුම්කරුවන් යොදා එම පිස්තෝලය සොයාගෙන ඇති අතර, එම මෙහෙයුමේදී මියගිය චීන ජාතිකයාගේ ජංගම දුරකතනය ද මුහුදේ තිබී සොයාගෙන ඇත.
සැකකාර කණ්ඩායම ඝාතනයට පෙර ඇහැළියගොඩ ප්‍රදේශයට පැමිණ පාළු ස්ථාන නිරීක්ෂණය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.
චීන ජාතිකයා පැහැරගෙන ඇහැළියගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් ඔහුගෙන් ජංගම දුරකතනය ඉල්ලා පහරදී ඇති බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු ලැබී තිබේ. දුරකතනය තමන් සතුව නොමැති බව ඔහු පැවසීමෙන් පසු කණ්ඩායමේ කිහිපදෙනකු නැවත වරාය නගරයට පැමිණ එය සෙවීමට උත්සාහ කර ඇති බව ද සඳහන්ය.
එහිදී ඔවුන්ගේ හැසිරීම පිළිබඳ සැක සිතූ වරාය පොලීසියේ නිලධාරියකු සිය ජංගම දුරකතනයෙන් ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන තිබේ. පසුව පැහැරගැනීම සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබීමත් සමඟ එම ඡායාරූප ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමෙන් සැකකරුවන් දෙදෙනකු රටින් පිටවීමට පෙර අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් පවසා ඇත්තේ ජංගම දුරකතනය සොයාගැනීමට නොහැකිවීමෙන් පසු පැහැරගත් පුද්ගලයා ඝාතනය කළ බවයි. පසුව ඔහුගේ සිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගල්වලින් වසා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරුවන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 25 වැනිදා කොටුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන අතර, ඒ සඳහා චීන තානාපති කාර්යාලයේ සහය ද ලැබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
