
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කිරීමටත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන් විය.
මෙම විශේෂ මහා සභා රැස්වීමට රට පුරා පිහිටි නීතිඥ සංගමයේ ශාඛා සංගම්වල නියෝජිතයන් මෙන්ම විශාල සංඛ්‍යාවක් නීතිඥවරුන්ද සහභාගී වූහ. සංගමයේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරමින් මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබිණි.
මෙවැනි විශේෂ මහා සභා රැස්වීම් නීතිඥ සංගමය පවත්වන්නේ ඉතා සුවිශේෂී හා බරපතළ කරුණු සම්බන්ධයෙන් පමණි. නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාගේ ඝාතනය, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය සහ පසුගියදා නීතිඥවරයකු මහමඟදී ඝාතනය කළ සිද්ධිය යන අවස්ථාවලදී ද මෙවැනි විශේෂ මහා සභා රැස්වීම් පවත්වා තිබීම ඊට උදාහරණ වේ.
