
අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින්, නඩු විභාග ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සංශෝධන කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණයේ අධිකරණ බලය ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද හඳුනාගෙන තිබේ.
එමෙන්ම, අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කරන පළාත්බද මහාධිකරණ සහ සිවිල් අභියාචනා බලය පවතින සිවිල් අභියාචනා මහාධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාදයකින් තොරව විසඳීම සඳහා මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ද ඉහළ නැංවීමට යෝජිතය.
අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම සහ අභියාචනාධිකරණ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමත් සමඟ පළපුරුදු හා විද්වත් විනිශ්චයකාරවරුන්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ අවශ්‍යතාව ද මතුව තිබේ.
ඒ අනුව, විනිශ්චයකාරවරුන් සඳහා දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද රජය විසින් හඳුනාගෙන ඇති අතර, යෝජිත සංශෝධන මඟින් අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාද අවම කර වඩාත් කාර්යක්ෂම අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.
