ගහලා මරන උතුරේ ලයිසන් පාතාලේ…

පසුගිය කාලය පුරාවටම ජාතික ආරක්ෂාව සහ ත්රස්තවාදී ක්රියා වලක්වා සාමය ස්ථාපිත කරන්න පාරේ තොටේ යන එන තරුණයන් වගේම පාක් එකක, නිදහස් තැනක දොඩමළු ව සිටි පෙම්වතුන් පසු පස්සේ පන්නලා අත්අඩංගුවටත් අරගෙන ශ්රී ලංකා පොලිසිය ඉතාමත් අනර්ඝ සේවයක් ඉටු කළා. මේ වෙන දේවල් බැලුවම කොල්ලන්ගේ කෙල්ලන්ගේ ආත්ම ගරුත්වයේ ඉඳලා උන්ගෙ ජීවිත පවා නැති කරලා පොලිසිය සුරක්ෂිත කරන්න හදන්නේ වගේ මොන එකක් ද කියලා තාම තේරුම් ගන්න බෑ.
දැන් මාසේකට විතර උඩදි ගෙවල් ළඟ රෑ කඩේකට ගියපු කොල්ලෙක්ව සැක සහිතයි කියලා ජීප් එක ඇතුළට ඔබාගෙන ගියපු කැස්බෑවේ පොලිසිය ඒ කොල්ලව පිට්ටනියක් මැද්දට අරන් ගිහිල්ලා තුවක්කු ලෝඩ් කරලා ඔලුවට තියලා ගෙදර හංගපු අයිස් පෙන්නපං කියලා තර්ජනය කරලා ගහලා තිබුණා. මේ වගේ බොරු චෝදනා කරලා කුඩු, අයිස් අතින් දාලා නඩු ෆයිල් කරන වැඩේ ලංකාව පුරාවටම තියන පොලිසි අනන්තවත් කරන දෙයක්. තමන්ගේ අතේ ඇත්තටම වැරැද්දක් නැතත් පොලිසිය වලහව හාවා කරන තියරිය යොදන නිසා ගොඩක් කොල්ලො ගුටි කාලා ගුටි කාලා බැරිම තැන “වැරද්ද භාරගන්නම් සර් ගහන්න එපා” කියලා කියනවා. ඒ මැරෙන්න බැරි කමට. ඒත් මේ විදියට ශ්රී ලංකා පොලිසිය ජීවිත කීයක හුස්ම හිර කරලා ඇත්ද? (“වැරදි කරලා නැත්තම් පොලිසියට බය වෙන්න එපා” https://fb.watch/otih-ktfPM/?mibextid=Nif5oz)
එහෙම සිදුවීමක් යාපනයේ වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයේ දී සිදු වුණේ පසුගිය නොවැම්බර් 8 වෙනිදා. නාගරාසා ඇලෙක්ස් කියන 25 හැවිරිදි තරුණයාව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසියට කැඳවලා තියෙන්නේ පරීක්ෂණයකට. ප්රදේශයේ සිදු වෙලා තියෙන හොරකමකට සැකකාරයකු විදියට ඇලෙක්ස්ව නම් කරපු වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසියට ඇලෙක්ස් ගිහින් තිබුණේ ඔහුගේ යාළුවෙක් එක්ක. ඒ ආරක්ෂාව ගැනත් හිතලා වෙන්න ඕන. පසුවදා ඔවුන් නැවත ගෙවල් වලට නාව කාරණාව නිසා මේ දෙදෙනාගෙම ගෙවල් වල පිරිස් පොලිසියට ගිහින් තියෙන්නේ ඔවුන්ව හොයාගෙන. පවුල් වල අය පොලිසියට යනකොට ඇලෙක්ස්ගේ කෑගැසීම් ඇහුණ බවට ඔවුන් කියනවා. සමාජ මාධ්ය වල සංසරණය වෙන වීඩියෝවේ ඇලෙක්ස් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය තමන්ට සිදු කළ වධහිංසන සහ පහරදීම් ගැන කියනවා.
ඇලෙක්ස් ගේ සෞඛ්ය තත්වය කොච්චර නරක අතක තිබුණත් පොලිස් අත්අඩංගුවට ගෙන දින දෙකකට පස්සේ ඔහුව මල්ලක්කාම් මහේස්ත්රාත්අ ධිකරණය විසින් රැඳවුම් භාරයට ගන්නා ලෙස නියෝග කරනවා. ඉන් පස්සේ නොවැම්බර් 19 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇලෙක්ස් ව අරගෙන එන අතරතුරේ ඔහු මිය ගිහින්. යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්ය විශේෂඥ වෛද්ය උරුතිරපසුපති මයෝරතන් මරණ පරීක්ෂණ වාර්තාවේ ලියා තිබුණේ මෙවන් සටහනකි.
“කඳේ පිටුපස, ඉහළ අත් පා සහ යටි පාද දෙකෙහි විවිධ තුවාල (සීරීම් සහ තැලීම්) සටහන් විය. මේවා මෙම මරණයට සෘජුව හෝ වක්රව දායක වූ ස්වභාවික රෝග නොවේ.”
මිය ගිය ඇලෙක්ස් අවසාන වශයෙන් අදහස් දැක්වූ වීඩියෝවේ කියා සිටියේ,
“පොලිසිය මාව සැකපිට අත්අඩංගුවට අරන් මට හොඳටම ගැහුවා. මගේ දෑත් පිටුපසට බැඳ මගේ මුහුණ වසාගෙන නැවත නැවතත් වතුර වක්කරමින් මට පහර දුන්නා. මාව උඩු යටිකුරු කරලා එල්ලලා ගැහුවා. ඊට පස්සේ පෙට්රල් දාපු ප්ලාස්ටික් බෑග් එකකින් මගේ මූණ වහගෙන මට ගැහුවා. මම සිහිසුන්ව වැටුණා. දැන් මට අත් දෙක උස්සන්න බෑ. පළමු දවසේ මට කෑම දුන්නේ නැහැ. ඊළඟ දවසේ ඔවුන් මාව ඔවුන්ගේ කාමරයට ගෙන ගියා, මානව හිමිකම් කොමිසමට කිසිම නඩුවක් දාන්න එපා කියලා. ඊට පස්සේ මට බොන්න අරක්කු පැකට් එකක් දුන්නා”.
ඇලෙක්ස්ගේ පවුලේ සාමාජිකයන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ ද (HRCSL) නිසි ආකාරයෙන් පියවර නොගත් බවට තමයි ඔවුන් දොස් නගන්නේ.
යාපනය සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඔහුගේ මරණයට පොලිසිය සම්බන්ධ බවට මියගිය අයගේ ඥාතීන් විසින් කරන ලද චෝදනා විමර්ශනය කිරීමට මේ වන විට අනුයුක්ත කරලා තියෙනවා. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තබා ඇති බවත් පරීක්ෂණයෙන් මරණයට හේතුව අනාවරණය කිරීමට අපේක්ෂා කෙරෙනවා. මේ සිදුවීම මූලික කරගෙන යාපනය සිතංකර්නි සහ වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයන් වල පොලිසියට විරෝධත්වය පළ කරමින් නොසන්සුන්තා පවතින බවයි අනාවරණය වෙන්නේ.
කොහොම වුණත් මේ සිදුවීම පිළිබඳව පුරවැසියන් විදියට අපිට සවිඥාණිකව බලා ඉඳලා අවශ්ය මැදිහත්වීම් කරන්න සිදු වෙනවා. එහෙම නැත්තම් අපිට අපේ ජීවිත පොලිසිය අතේ තියන්න වෙන්නෙ වධහිංසා පමුණුවලා, පහර දීම් සිදු කරලා නැති කරලා දාන්න පුළුවන් සිල්ලරට දෙයක් හැටියට.
-සමුදු බස්නායක-
Social Sharing
නවතම පුවත්