ප්‍රජාතන්ත්‍රවාදි ආයතනවල විශ්වාසය නැති වුණොත් තරුණයන් අන්තවාදයට ගමන් කරනවා -මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල විශ්වසනීයත්වය නැති වුවහොත් රටේ තරුණ පිරිස අන්තවාදයට ගමන් කරන බව පාර්ලි‍‍මේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

තමා ඉදිරිපත් කළ පළාත් පාලන මැතිවරණ පනත් සංශෝධන යෝජනාවට පසුව, ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුත් එම යෝජනාවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආචාරධර්මවලට පටහැණි ක්‍රියාවක් බව තමන්ට හැඟෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවැසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල විශ්වසනීයත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවහොත් කලකිරීමට ලක්වුණු රටේ තරුණ පිරිස අන්තවාදයට, ප්‍රචණ්ඩත්වයට ගමන් කරන බවත් එය සිදු කරන්න ඉඩ දිය යුතු නැති බවත් ඒ මහතා කීය.

තමා මෙම යෝජනා සද්භාවයෙන් ගෙන ආ බවත් පසුව ගෙන ආ යෝජනාව වැරැදි බව වරප්‍රසාද කමිටුව සහ පක්ෂ නියෝජිතයන් තීන්දු කළ බවත් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සඳහන් කළේය.

සමඟි ජන බලවේගය ගත් තීන්දුවට එකඟව මෙම යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණු බවත් එය සාර්ථක වන තත්ත්වයක් උදාවුණු බවත් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

“පෞද්ගලික මන්ත්‍රීවරයකු විදිහට පාර්ලිමේන්තුවට යෝජනා 3ක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමේ පනත, පළාත් සභා ඡන්ද විමසීමේ පනත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත. මේ පනත් 3 සංශෝධනය කරලා තරුණ නියෝජිතයන්ට සියයට 25ක අවකාශ සැලසීම අනිවාර්ය කිරීමේ යෝජනාවක් ගෙන ආවා. ඒ යෝජනා තුනෙන් දෙකක් සම්මත වුණා. ඒ පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනත්වය සහ පළාත් සභා පිළිබඳ තරුණ නියෝජනත්වය. ඒ පනත් අනුමත කළාට පසුව ඒ පනත් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරයි. අවශ්‍ය ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වුණාට පසුව නීතිගත කිරීම බලාපොරොත්තු වෙනවා.”

රක්ෂණ ශ්‍රියන්ත

Social Sharing
නවතම පුවත්