නීතිය යාවත්කාලීන කිරීම ආර්ථික සංවර්ධනයට රුකුලක් – ඇමැති අලි සබ්‍රි

නීතිය යාවත්කාලීන කිරීම, මෙරට ආර්ථික සංවර්ධනයට හේතුවක් වන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසුවේය.

නීතිය කාර්යක්ෂම වීම සහ ඩිජිටල්කරණය වීම මඟින් මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගත හැකි බව ද ඇමැතිවරයා පැවසීය.

අධිකරණයට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි. ආර්ථික අර්බුදයකින් ගොඩඑන මේ වෙලාවේ අධිකරණයේ ක්‍රියාවලිය ඉතා වැදගත්. විදේශ ආයෝජකයන් ලංකාවට පැමිණි විට අසනුයේ මේ නඩුව විසඳා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්නයි. ඒ සඳහා නිශ්චිත පිළිතුරක් අපට දිය නොහැකියි. වසර ගණනාවක් ඒ සඳහා ගත වෙනවා. ඒ බව ඔවුන්ට අපි කියන්නේ කොහොමද. කිව්වාම ඔවුන් ආයෝජනය නවත්වා නැවත යනවා. ආයෝජකයන් මෙරටට නොපැමිණයහොත් සංවර්ධන කටයුතු අපට කළ නොහැකියි. ලංකාවට ආයෝජකයන් නොපැමිණෙන හේතු දෙකක් පවතිනවා. එකක් වන්නේ කිසියම් ගැටලුවක් මතු වූ විට නීතියෙන් පිළියමක් යොදා ගැනීමට ගත වන කාලය, අනෙක් කරුණ නිලධාරිවාදය. මේ හේතු නිසා ආයෝජකයන් මෙරටට පැමිණීමට අකැමැතියි.”

Social Sharing
නවතම පුවත්