වැඩ වර්ජනවලින් නැවත රටත් ජාතියත් බිඳ වැටෙනවා…

වැඩ වර්ජනවලින් රාජ්‍ය තන්ත්‍රය කඩාකප්පල් කළොත් රටත්, මුළු මහත් ජාතියත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (07) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“රාජ්‍ය යන්ත්‍රණයේ ලක්ෂ 16ක පමණ රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සිටින ලක්ෂ 80ක පමණ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න තිබෙනවා. රට බංකොලොත් වෙනකල්ම සියලු දේශපාලන පක්ෂ තරගයට මෙන් රාජ්‍ය සේවකයන්ටත්, වැඩ කරන ජනතාවටත් බොරු පොරොන්දු සහ බොරු බලාපොරොත්තු දී රටත් ජාතියත් විනාශ වී තිබෙනවා. අපේ විවිධත්වයන් සහ වෙනස්කම් තියාගෙන රට ගැන වෙනම හිතන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ එනිසයි. මේ රට බංකොලොත් වෙනකොට පසුගිය වසරේ මැයි මාසයේ 08 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා පාර්ලිමේන්තු ක්‍රමයේ විශ්වාසය බිඳ වැටෙමින් තිබෙන බවත්, ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන නිසා ඉක්මනින් අප එකතුවී සාකච්ඡා කර විසඳුමකට යා යුතු බවත් සඳහන් කළේ එනිසයි.

2019 අවුරුද්දේ අපේ පාලන යන්ත්‍රය වෙනස් වුණාට පසුව බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නිසා මේ ආර්ථික අර්බුදය මතු වුණා. ආදායම් බදුවලින් ලබන ආදායම රුපියල් මිලියන 3කින් වැඩි කළා. උපයන විට ගෙවන බද්ධ වෙනුවට ඉහළ ආදායම් බදු ක්‍රමයක් ද රඳවාගැනීමේ බද්ද වෙනුවට උසස් ආදායම් බද්දක් ද හඳුන්වා දුන්නා. 6%ක ප්‍රතිශතයට හවුල්කාර බද්ද හඳුන්වාදී හවුල් ව්‍යාපාරවලින් බඳවාගැනීමේ බද්ද ඉවත් කළා. මේ බදු වෙනස් කිරීම නිසා වේගයෙන් මේ රට කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. රජයේ ආදායම අහිමි වුණා. පඩි නඩි ගෙවාගන්න ක්‍රමයක් තිබුණෙ නෑ. ඒ නිසා මහ බැංකුව මුදල් අච්චු ගැහුවා. මුදල් අච්චු ගැහුවාම රටේ උද්ධමනය වේගයෙන් ඉහළට ගියා. මේ හේතුව නිසා රාජ්‍ය යන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා.

2015දී රජය භාරගෙන රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කළා. පෞද්ගලික යන්ත්‍රණයත් ශක්තිමත් කර සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම වැඩි කර රාජ්‍ය සේවකයන් ශක්තිමත් කරන්න පියවර ගත්තා. නමුත් අවාසනාවකට එහෙම කළ රජය 2020දී රාජ්‍ය සේවකයන් හා මහජනතාව එකතු වෙලා පෙරළා දැමුවා. පසුව ඔවුන් මහපාරට වැටුණා. ඒ විතරක් නොවේ, රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයටත්, හමුදාකරණයටත් ලක්වීම සිදු වුණා. රජයේ උසස් තනතුරු සියල්ලම පාහේ හමුදාව විසින් කරන්න පටන් ගත්තා. අපේ ප්‍රතිපත්තිය වුණේ යුද්ධ හමුදා කටයුතු මෙහෙයවීම වෘත්තීමය හමුදා නිලධාරීන් විසින් සිදු කිරීමයි. රාජ්‍ය පරිපාලන කටයුතු රජයේ සේවකයන්ගේ ඉහළ විධායක නිලධාරීන්ගෙන් සමන්විත සංවිධානයකින් සිදු කිරීමයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයත් සමඟ එකතුවී කඩා වැටුණු රට ගොඩදැමීමට හදන අවස්ථාවේදී අද සමහරුන් වර්ජන රැල්ලක් ඇති කරන්න හදනවා. එසේ කළොත් රට නැවත කඩාගෙන වැටේවි. බංකලොත් වූ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත්, ණය දෙන ආයතනවලත් විශ්වාසය දිනාගෙන රට ගොඩනඟන්න හදන අවස්ථාවේ නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාටම මහ පාරේ ඉන්න වෙනවා. රට ජාතිය මහ පාරට ඇදලා දාන්න එපා. අඩුපාඩු හදන්නත් සෑම අංශයක්ම ශක්තිමත් කරන්නත් නව නීති රීති විශාල පද්ධතියක් ගෙනත් තිබෙනවා. දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න බැරි වෙන්න නීති රීති ගෙන එමින් තිබෙනවා.”

ශිරෝමි අබයසිංහ

Social Sharing
ආර්ථික නවතම පුවත්