අපරාධ කල්ලි අතර ගැටුම්වලින් මේ වසරේ 32 දෙනෙක් මියගියා – අගමැති දිනේෂ් ගුණවර්ධන

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මේ වසරේදී වෙඩි තැබීම් හැට දෙකක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීම්වලින් 32ක් මියගොස් ඇති බවත් 37ක් තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට කටයුතු කළ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීමේ සිද්ධින් මේ වසරේදී හතක් වාර්තා වී ඇති බවද අගමැතිවරයා අවධාරණය කළේය.

අගමැතිවරයාගේ දැනුම් දීම මත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

පාතාලය මර්දනයට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග මෙහිදී පැවසිය නොහැකියි – ඇමැති ටිරාන් අලස්

ටිරාන් අලස් මහතා:

පාතාලය මර්දනය කිරීමට අපි විශාල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර ක්‍රියාමාර්ග මෙතන කියන්න බැහැ. දකුණු පළාතේ විශාල පියවර ගත්තා. අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ වූවන් අට දෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. දෙදෙනකු පොලිසිය සමඟ ගැටුම්වලට ගොස් මියගොස් තිබෙනවා. හැට හත් දෙනකු අත්අඩංගුවට අරන් හිරභාරයේ ඉන්නවා.

අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාරය ඇතුළෙ ඉඳලම කුඩු ජාවාරම් කරනවා. ඝාතනවලට අනුබල දෙනවා. විදේශ රටවල අපරාධකරුවන් 30ක් විතර ඉන්නවා. ඒ අයත් ඒ දේවල් කරනවා. ඒ පිරිස ගෙන්ව ගන්න කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් සමඟ සාකච්ඡා කරනවා. අපරාධකරුවන් වෙනම ස්ථානයක රැඳවීමට සාකච්ඡා කරගෙන යනවා.

Social Sharing
නවතම පුවත්