මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක් – We Have A Dream…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිවිල් සමාජ සංවිධාන රැසක් එක්වී පිහිටුවාගෙන තිබෙන We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාල්ල පුරවැසි සභාව 2023 ඔක්තෝබර් 27 වන දින (ඊයේ) සවස දංගෙදර, සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විනි.

මෙම සම්මන්ත්‍රණය “මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනයක්” යන තේමාව ඔස්සේ සිදු වූ අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය සුජාතා ගමගේ, නීතිඥ ජනක එදිරිසිංහ, නීතිඥ දුලාන් දසනායක යන මහත්ම මහත්මීන් සහභාගි වෙමින් අදහස් දැක්වීම් සිදු කරන ලදී.

සභාව අමතමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසා සිටියේ “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තීව්‍ර වූයේ ලක්ෂ 15ක් පමණ වූ ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය විසින් ලක්‍ෂ හතර දක්වා අඩු කිරීමෙන් රාජ්‍ය ආදායම් අහිමි වීම නිසා වියදම පියවා ගැනීමට හා ණය ගෙවීමට නොහැකි වීමත් සමගය” යන්නයි. මෙහිදී ඒ මහතා තව දුරටත් පෙන්වා සිටියේ ශ්‍රී ලංකාවේ දිළිඳු බාවය 2023 වර්ෂය වන විට 31% න් වර්ධනය වී ඇති බවයි. 2019 වර්ෂය වන විට දී දිළිඳු බාවයෙන් පෙළුණු මිලියන 3ක ජනතාව, 2023 වන විට මිලියන 7ක් දක්වා වැඩිවීමකට ලක්ව ඇතැයි මහාචාර්ය රොහාන් සමරජීව මහතා පෙන්වා දුනි.

නීතිඥ ජනක එදිරිසිංහ මහතා මෙහිදි පළ කළේ මෙවන් අදහසකි. “ලංකාව සුන්දර මිනිසුන් ජිවත් වන සුන්දර රටක්. අපි රටට ආදරය කරනවා නම් අපි බදු ගෙවිය යුතුයි. ඒ බදු ආදායමෙන් තමයි රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නෙ. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් රජය සපයන්නෙ.

ලංකාව සංවර්ධනය කළ හැකියි. එය වැළැක්වීමේ කුමන්ත්‍රණය නිසා අපේ රට පරාධීන වෙනවා. අපේ රටේ ළඳු කැලෑ විනාශ කිරීම නිසා මී මැස්සන් විනාශ වෙනවා. දැනටමත් පරාගනය කරන්නට ලංකාවේ ගොවීන් කෘත්‍රිම ක්‍රම භාවිතා කරනවා. මෙය ලංකාවේ සමාජයේ ආහාර සුරක්ෂිතභාවයටත් ප්‍රශ්නයක්.”

තවද ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මෙම සභාව අමතමින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව අදහස් පළ කළ සිටියාය. ඇයගේ අදහස මෙසේය “සමානුපාතික ක්‍රමය 1980 සංවර්ධන සභා මැතිවරණයෙන් ආරම්භ වුණා. මනාප ක්‍රමය 1989 මහ මැතිවරණයෙන් ආරම්භ වුණා. එය අපේක්‍ෂකයන්ටම විශාල බරක්. මේ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි. කේවල හා සමානුපාතික ක්‍රමවල මිශ්‍ර ක්‍රමයක් අප යෝජනා කරනවා.”

මීට අමතරව ඇය මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළ යුතුය, වියදම් සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කළ යුතුය, අතුරු මැතිවරණවලට අවස්ථාව තිබිය යුතුය යන යෝජනා කිහිපයද මෙම සාකච්ඡා සභාවේ අවධානයට ලක් කර සිටියාය.

මෙම අවස්ථාවට සහභාගිවෙමින් අවසාන වශයෙන් අදහස් දැක්වූ නීතිඥ දුලාන් දසනායක මහතා පවසා සිටියේ මෙවැනි අදහසකි.

“2022 වන විට ආර්ථික අර්බුදය තීව්‍ර වීමත් සමගම රටේ මහජන ආරක්ෂාව පිළිබඳ හා මානව හිමිකම් සම්බන්ධ ගැටලු ඇති වුණා. නීතියේ පාලනය වෙනුවට බලවතාගේ පාලනය ඉදිරියට පැමිණියා. අපි ජනප්‍රිය සටන් පාඨ වෙනුවට නිවැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටින, සටන් කරන පිරිසක්. ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නෙත් ජනප්‍රිය නොවන, එහෙත්, අත්‍යවශ්‍ය පියවරක්. දුෂ්කර වුණත්, ඒ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.”

තවද ඔහු මීට අමතරව අදහස් කිහිපයක් සාකච්ඡා සභාව දෙසට යොමු කළ සිටියේය.

“රටේ ඉඩම් ජනතාවට ලබාදිය යුතුයි. එය වැළැක්වීමට ගෙනෙන ජනතාවට ඉඩම් දුන්නොත් ඉඩම් විකිණිය හැකියි වැනි බොළඳ තර්ක තේරුමක් නැහැ. දේශපාලකයන් සමග ජනතාවට තිබෙන අනුග්‍රාහක – සේවක සම්බන්ධය වෙනස් කළ යුතුයි.”

“රාජ්‍යයට මහජනතාවට තුටු පඬුරු ලබාදිය හැකි ක්‍රමය වැළැක්වීමට නම් රාජ්‍යය හැකිළිය යුතුයි. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුයි.”

“රාජ්‍ය ඒකාධිකාරයන් වෙනුවට වෙළඳපොළ ආර්ථිකය ඔස්සේ සංවර්ධනය අත්පත් කරගෙන සිටින ඉන්දියාව අපට ආදර්ශයට ගත හැකියි.”

ගාල්ල නගරයේ පැවති පුරවැසි සභාවේ සියළුම සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුවේ සමාජ ක්‍රියාකාරනියක වන කාන්චනී කොඩිතුවක්කු මහත්මියගේ සහ තරුණ සමාජ ක්‍රියාකාරිකයෙකු වන මොහොමඩ් නස්රින් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර සම්මන්ත්‍රණය ආරම්භයේ දී ආරාධිතයින් සහ සභාව පිළිගැනීම කාන්චනී මහත්මිය ද ස්තූති කතාව නස්රින් මහතා ද සිදු කරන ලදී.

 

Social Sharing
ආර්ථික නවතම පුවත්