නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!

aswesuma welfare 2023

අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර්

  • අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව බහුවිධ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

“බිම් මට්ටමේ සමහර ග්‍රාම නිලධාරීන් සහයෝගයෙන් කටයුතු නොකරන අතර රාජ්‍ය නොවන සේවකයන් යොදවා සුදුස්සන් තෝරා ගැනීම සඳහා දත්ත රැස් කිරීමට රජය ගත් තීරණයට සමහර රාජ්‍ය නිලධාරීන් විරුද්ධයි. ඇතැම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ද විරෝධයක් එල්ල වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල, සමහර නිලධාරීන් මෙය අඩපණ කර තිබේ,” යි නම සඳහන් කිරීමට අකැමැති රාජ්‍ය සේවකයකු උපුටා දක්වමින් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර පහක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් ලක්ෂ 12කට වැඩි පිරිසකට (1,230,097) ගෙවා ඇති බවත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන අටකට ආසන්න මුදලක් (රු. 7,705,302,250.00)  ගෙවා අවසන් බවත් , ජූලි මාසයට අදාළ ඉතිරි කොටස් දෙසැම්බර් මාසය වන විට ගෙවා අවසන් කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම වැඩසටහන පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව සමඟ පසුගිය දා ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

මෙම මුදල් මාසිකව ගෙවිය යුතු මුත්, ජුලි මාසයේ මුදල් ඔක්තෝබර් මාසය වන තුරු ද ගෙවා නොමැති බව දැකිය හැකිය. අස්වැසුම වැඩසටහනේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ශක්තිමත් ඒකකයක් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වී තිබේ. ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා විශේෂ වැඩ සතියක් ප්‍රකාශයට පත් කිරීමට ද යෝජනා විය

මේ අතර, නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් 156,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද සභාපතිවරයා සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වී සිටින අස්වැසුම අයදුම්කරුවන්ට මාස හයක් තුළ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේ කොන්දේසිය ම ඕනෑම බැංකු ශාඛාවකින්  ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ලබා දී තිබේ.

අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ අවසන් නොවීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් තවත් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වී තිබේ.

මීට පෙර සමෘද්ධි සුබසාධන ප්‍රතිලාභ ලැබූ පවුල් 1,280,000කට අධික සංඛ්‍යාවක් අස්වැසුම සඳහා ඉල්ලුම් කර ඇති අතර පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අභියාචනා ක්‍රියාවලිය අවසන් වන තෙක් ඉතිරි පවුල්වලට සමෘද්ධි දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

2017 වසරේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමට සමෘද්ධි වැඩසටහන අපොහොසත් වී ඇති අතර දිස්ත්‍රික්කවල දරිද්‍රතාවට ගොදුරු වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව සහ ප්‍රතිලාභීන් සංඛ්‍යාව අතර විෂමතා නිරීක්ෂණය විය.

ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාල හරහා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැඩි ලෙස අවධාරණය කරන ලදී. අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් අස්වැසුම වැඩසටහන ආරම්භ කිරීමට රජයට සිදු වූයේ එම නිසාය. එයට එරෙහිව එල්ල වූ විරෝධය

සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් ඩොලර් මිලියන 185 ලෝක බැංකු අරමුදල් ලබාගෙන ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පාලන) කේ.පී. හර්ෂ විජේවර්ධන, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සමාජ සවිබල ගැන්වීම) චම්පික කළුආරච්චි, ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සමාජ යටිතල පහසුකම්) ජේ.එම්.එස්.ඩී. රත්නායක, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ‍යේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ග්‍රාම නිලධාරී පරිපාලන) ඩී.ඩී.සී. අතුකෝරල සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රාදේශීය පරිපාලන) ඩබ්ලිවි.පී.සී.ඒ. වීරසූරිය යන මහත්ම මහත්මීන් සහ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවල සාමාන්‍යාධිකරුවන්, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සාමාජිකයන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මේ අතර, පසුගිය ඔක්තෝබර් 21, 22 සහ 23 දිනවලදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගලදී දිළිඳු සහන වැඩසටහන් හා සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ සාකච්ඡා මාලාවක් පවත්වන ලදී. අස්වැසුම ප්‍රතිලාභීන්, ප්‍රතිලාභ අයදුම් කර අහිමි වූවන්, ප්‍රතිලාභ අවශ්‍ය මුත් අයදුම් කිරීමට අසමත් වූවන්, අස්වැසුම සමීක්ෂණය වර්ජනය කළ ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන්, අස්වැසුම සමික්ෂණය මෙහෙයවූ රාජ්‍ය නිලධාරීන් හා තාවකාලික සමීක්ෂකවරුන්, සෙසු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, සමාජ ක්‍රියාකාරිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 150කට අධික පිරිසක් මෙම සාකච්ඡාවලට සහභාගී වූ අතර එම සාකච්ඡා මෙහෙයවූ මා නිරීක්ෂණය කළේ බිම් මට්ටමේදී අස්වැසුම වැඩසටහන පිළිබඳ දැඩි අවිශ්වාසයක් හා තොරතුරු පරතරයක් පවතින බවයි.

තෝරාගැනීම නිවැරදිව සිදු වී නොමැති බවට ජනප්‍රිය මතයක් සමාජයේ පැතිර පවතී. සමික්ෂණය සිදු කළ නිලධාරීන් තම නිවසට නොපැමිණි බවට හා වෙනත් අයගෙන් තොරතුරු ලබාගෙන ඇති බවට පවතින අදහස තහවුරු කිරීමට සාක්ෂි ලැබුණේ නැති තරම්ය. අපට හමු වූ සමික්ෂණ නිලධාරින් පෙන්වා දුන්නේ ඒ සඳහා භාවිතා කරන ලද ඇප් එක අනුව ස්ථානයට ගොස් ජිපීඑස් ඔන් කළ යුතු බව හා එසැණින් ස්ථානය හා වේලාව ඉබේම සටහන් වන බවයි. සමෘද්ධි හා ග්‍රාම නිලධාරීන් අස්වැසුම සමීක්ෂණයට සහභාගී නොවීම හේතුවෙන් ගම ගැන හොඳින් දැනුවත් පුද්ගලයන්ගේ දායකත්වය සමීක්ෂණයට ලබාගැනීමට නොහැකි වීම අවාසියක් වූ බවට පොදු අදහසක් නිරීක්ෂණය කරන ලදී. එහෙත්, සමික්ෂණ ප්‍රශ්නාවලිය මගින් දිළින්දන් හඳුනාගැනීමේ හැකියාව ඇති බව සමීක්ෂණයට සහභාගී වූ නිලධාරීන්ගේ අදහස විය. එහෙත්, පුද්ගලයන් විසින් ලබාදෙන තොරතුරු තහවුරු කරගැනීමේ ගැටලුවක් පැවති බව ද දක්නට ලැබිණි. ප්‍රශ්නාවලියෙන් ලබාගන්නා දත්ත මත යාන්ත්‍රික ක්‍රමයකට කරනු ලබන තෝරාගැනීමේ ක්‍රියාවලිය අභියාචනා හා විරෝධතා මගින් නිවැරදි වීම අත්‍යවශ්‍ය බව දක්නට ලැබිණි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා සියලු දෙනා අලුතින් අයදුම් කළ යුතු බව රජය ජනමාධ්‍ය ආදිය හරහා කෙතරම් ප්‍රචාරය කළ ද ඇතැම් අය ඒ සඳහා අයදුම් කර නොතිබිණි. ජනමාධ්‍යවලින් කරන ලද සන්නිවේදනය කෙසේ වෙතත්, නිලධාරින් විසින් වැරදි සන්නිවේදනයන් සිදුකරන බව ද දක්නට ලැබිණි. අස්වැසුම සමීක්ෂණයේ අරමුණ සමෘදධිය කප්පාදු කිරීම බවට මතයක් පතුරුවා හැර තිබුණු අතර සමෘද්ධිලාභීන් සුබසාධන ප්‍රතිලාභ සඳහා නැවත අයදුම් නොකළ යුතු බවට ද ප්‍රචාරය කර තිබිණි. අභියාචනා කිරීම සම්බන්ධ ගැටලුවක් දක්නට නොලැබුණ මුත්, විරෝධතා ඉදිරිපත් කිරීම අනෙක් අයට අවස්ථාව අහිමි කිරීමක් බැවින් සමාජය විරෝධතා දැක්වීමට උනන්දුවක් නොමැති බවට අදහසක් බොහෝ දෙනා අතර දක්නට ලැබිණි. මේ වන තෙක් ජුලි මස සහනාධාර පවා සියලුදෙනාට ලැබී නොතිබුණු අතර සහනාධාර ලැබුණු ඇතැම් අය පවා පැවසුවේ තමන්ට එය දිගටම ලැබෙනු ඇද්ද යන්න අවිශ්වාස බවයි.

සමස්තයක් ලෙස ගත් කල තවමත් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබෙන්නේ නැත. ඒ කෙරෙහි විශ්වාසය තහවුරු වීමට නම් පළමුව සුබසාධන ප්‍රතිලාභ නිසි පරිදි ලැබිය යුතුය. කෙසේ වෙතත්, මෙම දිළිඳු සහනාධාර සමාජයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැති බව ද, එමගින් දිළිඳු ජනයා යැපුම් මානසිකත්වයකට හා සහනාධාර බලාපොරොත්තුවෙන් වැඩ නොකර සිටින තත්වයකට පොළඹවන බව ද බොහෝ සමාජ ක්‍රියාකාරිකයන්ගේ අදහස විය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග