පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු හයක් රිමාන්ඩ්!

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ බව කියන ශ්‍රී ලාංකීය කෝටිපති ව්‍යාපාරික අහමඩ් ලුක්මාන් තාලිිබ් සමඟ සබඳතා පැවැත්වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු සැකකරුවන් හය දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (16) නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් අහමඩ් ලුක්මාන් තාලිබ් සමඟ සබඳතා පැවැත්වූ බවට තාලිබ්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව කරුණු අනාවරණය වන බවට ජාත්‍යන්තර පොලිසිය කරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

මොහු සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයන්ට අමතරව මාලදිවයින් ජාතිකයන් හත් දෙනකු හා ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනකු සම්බන්ධයෙන් කරුණු ජාත්‍යන්තර පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනාගෙන් තිදෙනකු වන 11,12 හා 15 යන සැකකරුවන් පැය 72ක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීමට එම ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

මීට අමතරව සෙසු සැකකරුවන් වන 18, 19 හා 20 යන සැකකරුවන්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබා ගැනීමට ද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අහමඩ් ලුක්මාන් තාලිබ් 2021 වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු දැනට ඔස්ට්‍රේලියානු රජයේ අත්අඩංගුවේ පසුවෙයි.

අහමඩ් ලුක්මාන් අල්කයිඩා සංවිධානය වෙනුවෙන් මුදල් ඉපයීමේදී ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන මැණික් සමාගමක් වන රයිට් ජෙම්ස් සමාගමේ ප්‍රධාන හවුල්කරු ලෙසද කටයුතු කර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය . ඒ අනුව ලුක්මාන් තාලිිබ් අල්කයිඩා සංවිධානයට මූල්‍ය පහසුකම් සැපයූ බවට චෝදනා කරමින් අමෙරිකා එක්සත් ජනපදය ඔහුට 2020 වසරේදී සම්බාධක පැනවිය.

මොහු සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී දුරකථන ඇමතුම් 700ක් සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇතුළු සෙසු සැකකරුවන් මොහු සමඟ සබඳතා පැවැත්වූ බවට කරුණු අනාවරණය වී ඇති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන බවට ද ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන චූදිතයන් වන මෙම සැකකරුවන් මෙම නඩුව සම්බන්ධයෙන් ද මෙලෙස බන්ධනාගාර ගත කළේය. අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් තිදෙනකුගෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ දී ප්‍රකාශ ලබාගැනීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට අවසර ලබා දුන්නේය.

Social Sharing
නවතම පුවත්