ලංකාවේ නළ දරු උපත් සම්බන්ධ ආයතන හා ප්‍රමිති නියාමනය අවශ්‍යයි – සෞඛ්‍ය අංශ

මඳසරුභාවයට ප්‍රතිකර්මයක් ලෙස සිදුකරනු ලබන In-Vitro Fertility (IVF) හෙවත් නළ දරු උපත් ක්‍රමය මගින් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකට නිවුන් පිරිමි දරුවන් සයදෙනෙකු ඉපදීමත් සමග එවැනි දරු උපත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමනයක් නොමැති වීම කෙරෙහි වෛද්‍ය හා සමාජ අවධානය යොමු වී තිබේ.

නිසි වයස සම්පූර්ණ වීමට පෙර, සති 26කින්, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී සීසේරියන් සැත්කමක් මගින් බිහිකරන ලද මෙම දරුවන් සයදෙනා මේ වන විට ළදරුවන් හය දෙනාම නව ජන්ම දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතර කෘත්‍රිම ශ්වසනය ලබාදෙමින් ඇති බව රෝහල් බලධාරීහු වාර්තා කළහ.
නළ දරු උපත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියාමනයක් නොමැති බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මාධ්‍යවලට පැවසීය. “මෙම දරුවන් හයදෙනාගේ කතාව ඇතුළෙ හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා. කෘත්‍රිම දරු උපත් සඳහා ලෝකයේ නියාමනයක් තියෙනවා. එක කළලයක් හෝ උපරිම වශයෙන් කළල දෙකක් තමයි තැන්පත් කිරීම සිදුකරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිදුවෙන්නෙ නැහැ. කළල කීපයක් තැන්පත් කළාම තමයි මේ වගේ විශාල ගණනක් දරුවන් බිහිවෙන්නෙ. මේ දරුවන් හයදෙනාගෙම ජීවිත මේ වන විට ඉතාමත්ම අවදානම් මට්ටමේ තියෙන්නෙ,” යි වෛද්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් නියාමනයක් සහිත රටවල ගැබ්ගැන්වීම් සිදුකරන ආයතන සඳහා ඒ වෙනුවෙන් බලපත්‍ර ලබාදීම, කාර්ය මණ්ඩල ලියාපදිංචිය, සේවාලාභීන් දැනුවත් කිරීම හා පූර්ණ කැමැත්ත ලබාගැනීම, වයස් සීමා, එක් වරකදී තැන්පත් කළ හැකි කළළ සංඛ්‍යාව, ලිංගිකත්ව තෝරාගැනීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රමිති ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ නළ දරු උපත් සම්බන්ධ ආයතන හා ප්‍රමිති නියාමනය සිදු කරනු ලබන්නේ Human Fertilisation and Embryology Authority (HFEA) නම් රාජ්‍ය අධිකාරිය විසිනි.
Social Sharing
අවකාශය නවතම පුවත්