ආර්ථිකයත් රටත් වැටෙනකම් රටේම පිරිසක් බලාගෙන සිටිනවා!

පලස්තීන සහ ඊශ්‍රායල යුද්ධයත් සමඟ අපේ රටේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙතැයි ඇතැමුන් සතුටින් බලා ඉන්න බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මෙවැනි අයගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ දැමිය යුතු බවත් ඒ මහතා කීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඇමැති මනූෂ නානායක්කාර මහතා මෙසේ ද කීය.

අද මේ රටේ බොහෝ දේශප්‍රේමීන් බිහිවෙමින් ඉන්නවා. සැබෑ දේශප්‍රේමීන් නම් ඔවුන්ගේ ඉලක්කය විය යුත්තේ ආණ්ඩුව වෙනස් කිරීම නොව මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාව වැඩි දියුණු කිරීමයි. දේශපාලන නූගත්කම සමාජයේ ඔඩුදුව තිබෙන නිසා එය නැති නොකළොත් අපට මේ රට පෙරට ගෙනයන්න බැරි වෙනවා.

පලස්තීන – ඊශ්‍රායල යුද්ධය ආරම්භ වෙලා. හමාස් සංවිධානය, ඊශ්‍රායලය, පලස්තීනය, යුක්රේනය, රුසියාව මේ හැම කෙනෙක්ම මේකට ඈඳිලා. දැන් ලෝක ආර්ථිකයට මොකක් වෙයිද? කොතැනින් කෙළවර වෙයිද? කියන අවිනිශ්චිතභාවය තිබෙනවා. ඒ නිසා අපේ රටටත් ලෝකයටත් වඩා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ඉදිරියේ දී මුහුණ දෙන්න සිදු වෙන බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.

ඒ අතරතුර ඇතැමුන් හරි සතුටෙන් ඉන්නවා. මේ බලපෑමත් එක්ක ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා. මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරිව වැටේවියැයි ඔවුන් බලාගෙන ඉන්නවා. ඇතැමුන් කොළඹ උද්ඝෝෂණය කරනවා. යුද්ධෙන් අපේ රටට බලපෑමක් වෙලා, රට විනාශ වෙනතුරු ඉන්න පිරිසක් සමාජයේ හැසිරෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක කරන්න බැරි වෙනවා නම් ඒක තමයි ඔවුන්ගේ ජයග්‍රහණය කියලා හිතෙන තරමට පහත් තත්ත්වයට වැටිලා තිබෙනවා. ඒ නිසා එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාව ඉහළ දමන්නේ නැතිව මේ රට ගොඩගන්න බැහැ.

දේශපාලනයේ නොසිටි අයට රාජ්‍ය බලය දීලා කරගත්තු විනාශය හොඳින්ම දැන් අපට වැටහෙනවා. සිස්ටම් චේන්ජ් කරන්න බලයට ගෙනැල්ල රටම අමාරුවේ වැටුණා. තමන්ට හම්බ වෙන සහනාධාරය ගැන හිතලා මිනිස්සු සතුටු වුණා. පොහොර සහනාධාරය දෙනවා කියලා මිනිස්සු ඡන්දය දුන්නා. බදු සහන ලබා දෙනවිට මිනිස්සු සතුටු වුණා. ඒවට අත්පොළසන් දී පිළිගත්තා. අවසානයේ ලෝක ආහාර අර්බුදයක් අත ළඟ තියෙද්දී කාබනික පොහොර සංකල්පයකට ගිහින් රටේම කෘෂිකර්මය වැට්ටුවා. ඒ වගේම ජාතිවාදයට සහයෝගය දුන්නා. රට මෙච්චර වැටිලා තියෙද්දි රටට ඩොලර් ගේන්න එපා කියලා කියූ දේ අහන්න තරම් දේශපාලනිකව දෙපාරක් නොහිතා තීරණය කරන්න ඇතැම් මිනිසුන් පසුබට වුණේ නැහැ. දේශපාලන නූගත්කම කියන්නේ එයයි. තමන්ගේ පක්ෂය කියන දේ හරි යැයි නිතරම හිතනවා ඇරෙන්න ඉන් එහාට මැදහත්ව දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ.

මැතිවරණ කල් දානවා කියා දැන් ලොකු චෝදනාවක් කරනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ 1994 ඉඳන් ජනතා බලයට හිස නමලා ගෙදර ගිය කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ බලයට කෑදර පක්ෂයක් නොවෙයි. 2002දී චන්ද්‍රිකා මැතිනිය අමාත්‍යාංශය අත්පත් කරගත් වෙලාවෙදි, 2018 බලහත්කාරයෙන් අගමැති ධුරය අත්පත් කරගත් වෙලාවේදී, පුළුවන්කම තියෙද්දී, එක ඡන්දෙන් වෙනස් වෙන්න උත්සාහ කරන්න හැකියාව තියෙද්දී ඇහුම්කන් දීලා ජනතාවගේ කැමැත්තට ඉඩ දීලා ඔහු නිහඬ වුණා. ඡන්දෙ ඉල්ලන්නේ ජනතාව ද කියන එක ප්‍රශ්නයක්. මිනිස්සු ඉල්ලුවේ බංකොලොත්භාවයෙන් රට මුදා ගන්න කියන එකයි. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපේ කැපවීම පෙන්නලා තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතියත් අප ආරක්ෂා කර දෙනවා. රට වැටිච්ච වෙලාවේ, කවුරුත් භාරගන්නේ නැති වෙලාවේදී, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට භාර අරගෙන බය නැතිව ගමනක් යනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න අප ජනාධිපතිත් එක්ක එකතු වෙලා ඉන්නවා.

සියයට හැත්තෑ ගානකට ඉහළ ගිහින් තිබුණු උද්ධමනය අද 4%ට අඩු කරගන්න අපට හැකි වෙලා තිබෙනවා. ආචාර්යවරු, මහාචාර්යවරු මේ ප්‍රශ්න ගැන කතා කරන අය, මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැහැ. බදු සල්ලිවලින් ඉගෙන ගත්ත පිරිස් තමන්ට මොනවද වෙන්නේ කියා හිතුවා මිසක් රට ගැන හිතුවේ නැහැ. මේ රට දාලා ගියා. මේ රටේ ලේ ගලන තත්ත්වයට සමහර අය මේ රට පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට එන්න හදපු හැම අවස්ථාවකම දේශපාලනඥයෝ ඔක්කොම එකතුවෙලා, එතුමා බලයට එන එක නැවැත්තුවා. රනිල් වික්‍රමසිංහට මේක බෑ කිව්වා. මේක කරන්න හැකියාවක් නැහැ කියා කොච්චර දේවල් කිව්වද? එහෙම මතවාද එක්සත් ජාතික පක්ෂයටත්, පාක්ෂිකයන්ටත් ඔළුවට දාලා ඔවුන්වත් විනාශ කරන්න මේ රටේ දේශපාලනඥයන් ක්‍රියා කළා. ඇතැම් බලවේගවලට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති පුටුවට එන එක වළක්වන්න අවශ්‍ය වුණා. ජාත්‍යන්තර නායකයන් එක්ක හොඳින් ගැටිලා ඔවුන්ගේ පදයට නටන්නේ නැතිව රට ස්ථාවරව හොඳ ජාත්‍යන්තර සබඳතා ඇති කර ගත හැකි සමබර රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ දැන් පේනවා.

ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරගෙන යනවා. ලෝකය වේගයෙන් බලශක්ති අර්බුදයකට යද්දී ඒ වෙනුවෙන් ලහිලහියේ සූදානම් වෙනවා. ලෝක අර්බුදයේදී, දේශගුණික විපර්යාසයේ දී අවුරුදු පහෙන් පහට රට ගොඩනඟලා 2048දී දියුණු රාජ්‍යයක් කිරීම ඔහුගේ අපේක්ෂාවයි”.

Social Sharing
ආර්ථික නවතම පුවත්