මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපතිවරණය සමග සම්බන්ධයක් නැහැ – අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ලෙස තමන් විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව තුළ ජනාධිපති පදවිය සම්බන්ධ කිසිදු වෙනසක් යෝජනා නොවන බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ කොළඹදී පැවති සාකච්ඡා සභාවකදී පැවසීය.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡා සභාවේදී අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයක් හා උත්සාහයක් තිබුණු බවයි. ඒ අනුව කේවල මන්ත්‍රී ක්‍රමය හා සමානුපාතික නියෝජනය සම්මිශ්‍රණය කෙරුණු නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් විවෘත යෝජනාවක් තමන් විසින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කර තිබෙන බවයි. සංවාදය ඔස්සේ වඩාත් සුදුසු ආකාරයට මැතිවරණ ක්‍රමය සකස් කරගත හැකි බව ද ඇමතිවරයා පැවසීය. කාන්තා හා තරුණ නියෝජනය සහතික කිරීම සම්බන්ධයෙන් සභාවෙන් මතු වූ යෝජනා ද සාකච්ඡා කර ක්‍රමවේද සකසා ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ මැතිවරණ කල්දැමීමේ සැලැස්මක කොටසක් ලෙස බවට මතු වුණ අදහස් ප්‍රතික්ෂේප කරමින් ඇමතිවරයා පැවසුවේ එවැනි අදහසක් රජයේ කිසිදු පාර්ශ්වයකින් ඉදිරිපත් කර නැති බවයි. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය ලබන වසරේ නිසි පරිදි පැවැත්විය යුතු බව ද, එය කල් දැමිය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
නව මැතිවරණ ක්‍රමය සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය යුතු බව ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය. කේවල ආසන ක්‍රමයක් වෙනුවෙන් නව සීමා නිර්ණයක් සම්මත කරගැනීම ද අවශ්‍ය බව ඔහු පැවසීය. නවීන තාක්ෂණය හා දැනුම භාවිතා කරමින් මාස තුනක කාලයක් තුළ පහසුවෙන් සීමා නිර්ණය සිදුකළ හැකි බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
අරගලයෙන් ජනතාව අපේක්ෂා කළේ ක්‍රමයේ වෙනසක් බව ද, එවැනි ක්‍රම වෙනසක් සිදුකිරීම සඳහා ඉවහල් කරගත හැකි මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත හා දූෂණ විරෝධී පනත වැනි පනත් දැනටමත් සම්මත කරගෙන ඇති බව ද ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය.
Social Sharing
නවතම පුවත්