රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ භයානක තැනක…

තවමත් රටේ ආර්ථිකයේ දිශානතිය වෙනස් වී නැති බවත් ආර්ථික තත්ත්වය භයානක තැනක ඇතැයි ද එලෙස සිදුවූයේ අධික ලෙස මහජන දේපොළ සූරාකෑම නිසා යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. ආර්ථික ප්‍රතිපත්තියෙන් ආර්ථිකය සංකෝචනය වෙමින් ඇති බවත් ආර්ථික වර්ධනයක් නැති විට රැකියා නැති වෙමින් ආදායම පහළ යන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. උද්ධමනය පහළ ගොස් ඇති බව රජය පැවසූවද බඩු මිලේ පහළ යෑමක් දක්නට නැති බවත් රට තුළට ගලා එන ප්‍රේෂණ වැඩි වීමක් දක්නට නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ආධාර පිළිබඳ ස්තුතිවන්ත වන බවත් ඉන්දියන් ණය ඩොලර් මිලියන 114ක් ජාතික ඖෂධ සංස්ථාවට දී තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. එයින් මිලියන 68.5ක් පාවිච්චි කර තිබුණු නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා ඇත්තේ ඒ මුදල වැඩි ප්‍රමාණයක් යොදවා ඇත්තේ අත්‍යවශ්‍යම ඖෂධ ගෙන්වීමට නොවන බව යැයිද ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පවසන මන්ත්‍රීවරයා මෙවැනි තීන්දු තීරණ ගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කරයි.

රටේ ආර්ථිකයේ දිශානතිය වෙනස් වී නැති බවත් දත්ත අනුව කෘෂිකර්ම වර්ධනය බොහොම අඩු බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. රටේ නිෂ්පාදනය සියයට 23.4කින් පමණ අඩු වී ඇති බවත් සේවාවන්ද 5%කින් අඩු වී ඇති බව ද පැවසීය.

Social Sharing
ආර්ථික නවතම පුවත්