විගණකාධිපති දෙන නිර්දේශ ඇතැම් රාජ්‍ය ආයතන ගණන් ගන්නේ නෑ!

විගණකාධිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබා දෙන තීන්දු හා නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක නොකරන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන තීන්දු තීරණ, නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැදී සිටින බව ද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කෙළේ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව යටතේ ඇගයීමට ලක්කරන ලද ආයතනවලින් ප්‍රශස්ත මට්ටම සපුරන ලද ආයතන සඳහා සහතික පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විගණකාධිපතිවරයා මෙසේද පැවසීය.

දඬුවම් දීම නොව නිවැරදි කිරීම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වගකීමක්. ආයතනවල කළමනාකරණ ක්‍රියාවලිය වෙනුවෙන් තම දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ආයතන ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත නැවත දැනුම් දිය යුතුයි.

කෙසේ වුවද කළමනාකරණය වෙනුවෙන් ගන්නා ලද තීන්දු තීරණ හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ඇතැම් ආයතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. එබැවින් විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරවීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ හා මුදල් පිළිබඳ කාරක සභාවේ ද වගකීමක්.

රජයේ ආයතන විගණනයට ලක්කිරීමේ කාර්යයක් ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2016 වසරේ සිට රාජ්‍ය ආයතන විගණනයට ලක් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. එය ආරම්භ කර අදවන විට වසර ගණනාවක්. මෙය රජයේ ආයතනවල කාර්ය සාධනය මැනීමක් දක්වා අද වන විට වර්ධනය වී තිබෙනවා. අද වන විට මෙය ඇගයීමට ලක්කළ හැකි මට්ටමක තිබෙනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී රන් සහ රිදී සම්මාන පිරිනැමුවා .විගණන ක්‍රියාවලියේදී වගේම සතුටුදායක කාර්ය සාධන මට්ටමක් පෙන්වූ ආයතනවලට මගේ කෘතවේදීත්වය පිරිනමනවා. මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ලෙස අප වෙත පැවරෙන කාර්යභාරයක් තිබෙනවා. ඔබ විසින් සකස් කරන ලද තොරතුරු අප විසින් ඇගයීමකට ලක් කරනවා. එලෙස ලබා දෙන තොරතුරු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරනවා. ඒ තොරතුරු සම්බන්ධයෙන් සොයා බලනවා. ලබා දී ඇති තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කරනවා. ලබා දෙන තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්වයං ඇගයීමකට ලක්කරනවා. ඒ වගේම මෙම ක්‍රියාවලිය අපගේ ආයතනය ක්‍රමවේද ගණනාවක් අනුව සිදු කරනවා. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුවට වෙත විශාල කාර්ය භාරයක් පැවරෙනවා. විගණන ක්‍රියාවලිය යටතේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අප විසින් විමර්ශනයට ලක් කරනවා. ඒ වගේම විගණකාධිපති දෙපාර්තමේන්තුව ලෙස අප විසින් විගණන වාර්තා විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙනවා. අපගේ නිලධාරින් විසින් සිදු කරන විගණන වාර්තා සෘජුව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේම ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම වාර්තා අප විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතුයි.

විගණකාධිපතිවරයාට ඇති බලතල අනුව අපි මේ සියලු ආයතන ඇගයීමට ලක් කරනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සිට බිලියන , ට්‍රිලියන ගණන් ආදායම් ලබන බැංකු දක්වා අපි විගණනයට ලක් කරනවා. ඒ ඒ ආයතන විසින් ලබා දෙන මූල්‍ය ප්‍රකාශන ආදිය නිවැරදිද යන්න අපගේ නිලධාරින් පරීක්ෂාවට ලක් කරනවා. මේ සඳහා අවශ්‍ය බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හා ජාතික විගණන පනතෙන් ලැබී තිබෙනවා. යම් කිසි විශේෂිත කාරණා, යම් කිසි විශේෂිත ආයතන සම්බන්ධයෙන්ද අපි විමර්ශන සිදු කරනවා. වසරකට විගණන වාර්තා විශාල ප්‍රමාණයක් අපි ලබා දෙනවා. මේ දෙන විගණන වාර්තා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඇගයීමට ලක් කරන්නට බැහැ. ස්ථාවර නියෝග 19, 20 අනුව විගණන වාර්තා කෝප් හා කෝපා කමිටුවලට යොමු කරනවා. මේ විගණන වාර්තා සියල්ලම මේ කමිටු දෙකටත් අවධානයට යොමු කරන්න බැහැ. එය යම් අසීරු කාර්යයක්. ඒ නිසා විගණනය කළ යුතු ආයතන සම්බන්ධයෙන් යම් යම් ක්‍රමවේදයකට අනුව තෝරා ගැනීම් සිදු කරනවා. යම් ක්‍රමවේදයකට අනුව, මාර්ගගත ක්‍රමවේදයකට අනුව හෝ ඇගයීමකට ලක් කරනවා. විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තා ගණනාවක් තිබෙනවා. සාරාංශගත වාර්තාවක්ද ඉදිරිපත් කරනවා. කළමනාකරණය විසින් ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් තවත් වාර්තාවක් තිබෙනවා. විගණන පනතේම ඇති වගන්තියක් තිබෙනවා කළමනාකරණ වාර්තාව අනුව ඒ ඒ ආයතන කළමනාකරණය වෙනුවෙන් ගත් තීරණ මාස තුනක් ඇතුළත නැවත විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු බවට. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තාද තිබෙනවා. විගණකාධිපතිවරයා ලබා දෙන නිර්දේශ ඒ ඒ ආයතන සිදු කළ යුතුයි. ඒ නිසා තමයි සමහර විගණන නිරීක්ෂණ දිගින් දිගටම වාර්තා කරන්නට සිදු වන්නේ. නමුත් ඒ නිරීක්ෂණ සිදු කරන බවක් පෙනෙන්ට නැහැ . වසර තුනකට වරක් විගණන නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

විගණකාධිපතිවරයා විසින් ලබා දෙන නිරීක්ෂණ ඒ ඒ ආයතන විසින් ක්‍රියාත්මක කිරීම දුර්වල වී තිබෙනවා. ඒ නිසා එම නිර්දේශ ක්‍රියාත්මක කරවීමට බල කිරීම මේ කාරක සභාවල වගකීමක්. ඒ වගේම ස්ථාවර නියෝග වෙනස් කරමින් හෝ ඇතැම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි. විගණන ක්‍රියාවලිය වෙනුවෙන් මට ඉන්නෙත් සුළු කාර්ය මණ්ඩලයක්. අපට විශාල කාර්යභාරයක් තිබෙනවා. මගේ නිලධාරින් ඇගයීමට ලක්වන ප්‍රමාණය මදියි කියලයි මම විශ්වාස කරන්නේ.

Social Sharing
නවතම පුවත්