ප්‍රංශ ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක…

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන් විය.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මැක්‍රොන් මහතා අතර සුහද සහ ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර එය පැයකුත් විනාඩි පහළොවක් පුරා පැවතිණි. විශේෂයෙන්ම මේ වසරේ සමරනු ලබන ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සහ ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ විය.

විශේෂයෙන්ම දේශගුණික විපර්‍යාසය, ගෝලීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන්දු පැසිෆික් කලාපයට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රංශයේ ගෝලීය කටයුතුවල වැදගත් කාර්යභාරය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රසාදය පළ කළේය.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුව අතරතුරදී පැරීසියේදී පැවැත් වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ මෑතදී කළ සංවාද ජනාධිපති මැක්‍රොන් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැමැත්ත සහ කැපවීම ඔහු යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකාවට සිව්වන විශාලතම ණයහිමියා ලෙස ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

Social Sharing
නවතම පුවත් විදෙස්