වල දැමූ පඬු කරඳ ගස ගොඩ ගනී!

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායකඉදිරියේ ගොඩ ගෙන ආරක්ෂාව සඳහා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන යනු ලැබුවා.

නඩුව යළි කැඳවූ අවස්ථාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු කටයුතු පිළිබඳ ව්‍යාපෘති අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රසික දිසානායක කරුණු දක්වමින් කියා සිටියේ, මෙය රජයට පවරා ගෙන ඇති පුද්ගලික ඉඩමක තිබූ ගසක් හෙයින් එය ගොඩ දැමීමට නියෝග කිරීමට බලයක් නොමැති බවයි.

පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් කහටපිටියපිටිය කරුණු දක්වමින් අධිකරණයට පැවරී ඇති බලතල අනුව ගස ගොඩ ගැනීමට නියෝග කර ඇති බවත් ඒ පිළිබදව අභියෝග කළ නොහැකි බවත් කියා සිටියා. මේ පිළිබඳව ඇති සියලු පනත්වලින් මෙය දුර්ලභ ගණයේ ශාකයක් බවට තහවුරු වී ඇති හෙයින් ගස හොරෙන් කපා වළ දැමීම පිළිබඳව නඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවද නීතීඥවරයා පැවසුවා.

ඒ අනුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක ඉදිරියේ ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එම නියෝගයෙන් අනතුරුව ගම්පහ හා බෙම්මුල්ල පොලිස් ස්ථානවල නිලධාරීන් ගේ මග පෙන්වීම යටතේ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ගස වල දමා ඇති ස්ථානයට ගොස් ගස ගොඩ ගැනීමට කටයුතු කරන ලෙසට නියෝග කිරීමෙන් අනතුරුව බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගෙන ගස ගොඩ ගනු ලැබුවා.

Social Sharing
නවතම පුවත්