අංගොඩ රෝගියා මියයාම සම්බන්ධයෙන් තවත් රෝහල් සහයකයෙක් අත්අඩංගුවට…

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තුන්වන රෝහල් සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මුල්ලේරියාව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ තුන්වන සහයකවරයා අත්අඩංගුවට ගත් බවයි.

මීට පෙර, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහල් සහයකයින් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බයිපෝලා අක්‍රමිකතාවයෙන් පෙළෙන 48 හැවිරිදි රෝගියා ජූලි 20 වන දින රෝහල් ගත කර ඇති අතර මෙම සතිය මුලදී සිදු වූ බව කියන පහරදීමකින් තුවාල ලබා මිය ගිය බව වාර්තා වේ.

රෝගියා මෙල්ල කිරීමට යාමේදී රෝහල් සහයකයින් විසින් රෝගියාට පහර දී ඇති බව වාර්තා වේ.

රෝගියා මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රෝහල් සහායකයින් තිදෙනා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර අත්අඩංගුවට ගත් රෝහල් සහායකයින් තිදෙනාගේ සේවය අත්හිටුවීමට රෝහල තීරණය කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද අද නිවේදනය කළා.

Social Sharing
නවතම පුවත්