පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!

(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය)

“මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි කාලයක් මගේ ජීවිත කාලය ඇතුළේ තිබුණේ නෑ.

ඇත්තටම ලෝකයේ ගොඩක් තැන්වල දීර්ඝ කාලයක ඉඳන් වාරණය කියන එක තිබුණා. රුසියාවේ සහ චීනයේ විතරක් නෙමෙයි එක්තරා විදිහකට බැලුවම ඉන්දියාවේ පවා.

ඒත් බටහිර රටවල, ප්‍රකාශනය සම්බන්ධයෙන් ගත්තම, මෑතක් වෙනකල් සෑහෙන දුරකට නිදහසක් තිබුණා. දැන් මං මේ ඇමරිකාවේ ඉඳන් බලාගෙන ඉන්නේ, පුස්තකාලවලට වගේම පාසල්වල භාවිතා වන ළමා පොත්වලට එරෙහිව සිද්ධවෙන පුදුමාකාර පහරදීම් දිහා. පුස්තකාල කියන සංකල්පයටම සිද්ධ වෙමින් තියන පහරදීම් දිහා.

ඇත්තටම ඒක පුදුමාකාර විදිහට තැතිගන්වනසුලු දෙයක්. අපි ඒ ගැන ඉතාම හොඳින් දැනුවත් වෙන්න ඕනේ. ඒකට එරෙහිව සෑහෙන්න දරුණුවට සටන් කරන්න ඕනේ.

ඒ වගේම, රෝල්ඩ් ඩාල් සහ ඉයන් ෆ්ලෙමිං වගේ අයගේ කෘති සංස්කරණය කරලා නුසුදුසු කොටස් ඉවත් කරන්න ප්‍රකාශකයන් උත්සාහ කරමින් ඉන්න එකත් ඇත්තටම බය හිතෙන දෙයක්. අනික් අතට ජේම්ස් බොන්ඩ් වගේ දෙයක් ‘පොලිටිකලි කරෙක්ට්’ විදිහට කරන්න හිතනවා කියන එකම විහිළුවක්. මම හිතන්නේ අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ. පොත් අපට එන්න එන්න ඕනේ ඒවා අයිති වුණු කාලයෙන්. ඒවා පවතින්න ඕනේ ඒ කාලයේ දේවල් විදිහට. ඒක දරාගන්න අමාරු නම්, ඒවා කියවන්න එපා. වෙන පොතක් කියවන්න. අතීතයේ දේවල් වර්තමානයේ ආකල්ප වලින් නැවත නිර්මාණය කරන්න හදන්න එපා.

ඔබ ඔය ඉන්න තැන ඉන්න බොහෝ දෙනෙක් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ මූලධර්ම ආරක්ෂා කරන්න සෑහෙන්න කැපවෙලා ඉන්න බව මම දන්නවා. මේ සම්මානය හිමි වීම මට ආඩම්බරයක්. මම හිතන්නේ මම මේක පිළිගන්නේ, මේ සටනේ නිරත වෙලා ඉන්න හැමදෙනාම වෙනුවෙන් කියල.

මීට කලින් මට 1995 අවුරුද්දේදී මගේ ‘The Moor’s Last Sigh’ පොත වෙනුවෙන් British Book Award එකක් හම්බුණා. මට දැන් මේ සම්මානයත් ඒක ගාවින් තියන්න පුළුවන්.

ස්තූතියි!”

(දේශනයේ ඉංග්‍රීසි පෙළ ‘publishingperspectives.com’ වෙතිනි. මේ සරල සහ හදවතින්ම කළ පරිවර්තනය තරිඳු ශ්‍රී ලොකුගමගේ වන මගේ ය. රටේ සිදුවෙමින් පවතින යම් යම් දේවල් නිසා ඇති වූ සිත් රිදීම් හේතුවෙන් කළ මෙම පරිවර්තනයෙහි කිසිදු වාණිජ අරමුණක් නැත)

Social Sharing
අවකාශය නවතම