-මහාචාර්‍ය සරත් විජේසූරිය-
මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම අනුභූතිය කතා පුවතක් ගෙනහැර දක්වන – දෑතට හසුවන ඒවා නොවීම ද විශේෂයකි. කිවි’දියගේ පරිකල්පන ශක්තිය – ඉසියුම් නිරීක්ෂණ තුළින් උපන් මනරම් කවිකම් ආස්වාදනීය බව නොවළහා කියනු කැමැත්තෙමි. කෙටියෙන්ම සඳහන් කරනු කැමැත්තේ ‘මුහුකුරා ගිය කවිකම’ කෘතිය විදහා පෑ බවය. ප්‍රතිභාසම්පන්න – කවියන් – කිවිඳියන් කිහිපදෙනෙකු ඉහළ තැනකට එසවූ කවිය සමග සදාශ්‍රය, මේ කාව්‍ය සංග්‍රහයෙහි දුටු දියුණු හැම ලක්ෂණයකින්ම නිරීක්ෂණය විය. පරිසරය – සොබා දහම සීරුවට කියවීම හා ඉන් පසක් කළ ජීවන සත්තාවන් සංකේෂපයෙන් – ළා සායමින් පරිස්සමින් සිතුවමකට නඟන ඉවසිලිවන්ත කවිකම අගනේය. මානසික වෙහෙස තුනී කර දමා තමන් ජීවත්වන පරිසරය සමග නිහඬ සංවාදයකින් ජීවනයේ අරුත් පසිදලීමට කිවිදිය අභ්‍යාස කර ඇති අයුරු පළ කර තිබෙනුයේ වයසින් හා අත්දැකීම්වලින් කිසියම් පරිපාකයකට පත් වගක් බව හැඟැණි.
මා සිත් ගත් කවි පන්ති අතුරින් දෙකක් පමණක් උපුටා දක්වනු රිසියෙමි.
රහස
විසල් තුරු බඳ වෙත
කන තබා විමසමි
ඇද්ද කිසි රහසක්
ඉක්ම සියවස් කල්
නොනැසී යෙහෙන් ඉන්නටනිල් අහස පිරිමදින
හිරු කිරණ වෙත ඇරුණු
තුරුපත් නිපදවන අහර
මිහිමඬල විනිවිදින
අක්මුල් උරා ගත් ජලය
නැතිව කිසි ගැටුමක්
ඉහළ පහළ යන හඬ
ඇසෙයි සියුමුවඅතැර තුරු බඳ
මෑත්වී යළි
නෙතු හෙළමි
එතුරු බඳ වෙත
පිටපොත්ත මත
විසිර පැතිරුණු
පාසි පෙද පැල්ලම් අපමණි
හෙළ පහළ යන එන
කුරු කුහුඹුවන් අපමණි
මේ දැන් පුපුර පුපුරා
බිජුවලින් එළි බට
දඟලන දළඹු අහිනකි…එසැණ වැටහිණි මට
කාලයේ කැට මුගුරු ඉවසා
මේ විසල් තුර
සියක් වස් ඉක්මවූ රහස.
නිර්මාණකරණයේ දී විවේක බුද්ධිය අවශ්‍ය තරමට, නිර්මාණයක් ආස්වාදනයේ දී විවේක බුද්ධිය අවශ්‍ය බවය මේ කව වැනි තවත් කවි කිහිපයක්ම කියවන විට නෙකවතාවක් හැඟුණේ. මේ කව මෙහි සඳහන් කළාට පසුව ‘දෙව්රුව’ කව කියවා බලන විට හැඟුණේ පද්මිණී සැබවින්ම ජීවන අත්දැකීම්වලින් පරිපාකයට පත්ව සිටින බවය. ‘රහස’ – ‘දෙව්රුව’ යනාදි කව්වලට වෙනස් වූ ‘ඔබ එවූ මල් මිටිය’ නම් වූ කව, ‘ධ්වනිය’ කවිකමක අපූර්වත්වය උදෙසා ඉවහල් වන අන්දම රමණීය යැයි සිතුණි.
ඔබ එවූ මල් මිටිය
ඔබ එවූ
අධි මිලැති මල් මිටිය ලැබුණා
ඔබේ ප්‍රේමය ලෙසම එය
සුන්දරයි, සුව’දයි,අලංකාරයිනටු අතර තෙරපී
තැළී පොඩිවුණ
නටුව කෙටි සුදුමලඔව්….ඔබේ වරදක් නොව එය
මල් වෙළෙන්දියගේ නොසැලකිලිමත්කමඒත්…. මගෙ හිත දුකින්
කාගෙ හෝ වරදින්
වැරදි මල් මිටියකට ගොනු වී
තැළී පොඩිවෙන
තව කොතෙක් නම් මල්
ඇද්දමල් මිටිවල.
2010 සිට 2023 වන විට පද්මිණී ශ්‍රියාලතා සිය කවිකම හෙමින් ඉහළට ඔසවා ගන්නට සමත්ව සිටන් අන්දම ප්‍රශස්ත බව කියනු කැමැත්තෙමි. ගැඹුරු ඉසියුම් ජීවන් අරුත් පිරි කව් කීපයක්ම ඉවසිල්ලෙන් කියවීමට මේ කෘතියෙහි ඇතුළත්ය.
‘ජිමික්’ නැති කව් කියවනු රිසි රසිකයන්ට “අළු පැහැති කවුළුවෙන්” පියවි ඇසට නතු නොවන ජීවනයේ චමත්කාරය විදින්නට හැකි යයි සිතමි. ඔබේ කවිත්වයට ළෙන්ගතුව මසිත පහළ වූ පහන් සිතුවිලිය මේ.