නගරයක පැවැත්ම කවියක බහාලීම…!

-ඩිල්ශානි චතුරිකා දාබරේ-

නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න තැත්කරන විදිය, නගර සහ මිනිස් සමූහ අතර පවතින සහසම්බන්ධය යළි යළි ජීවමාන කරන විදිය මතක් කරන කවි එකතුවක් සනත් බාලසූරිය ලියූ, ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’. පොත කියෙව්වෙ වසර කිහිපයකට කලින්. යමක් ලියන්න ගත්තෙ මෑතකදි.

නගරෙකින් නගරෙකට ලෙසින් ලියැවුණු කවි කිව්වම එක්වරම අපට මතක් වෙන්නේ සංදේශ කවි. මග වැනුම්. ඊට අමතරව මහා කාව්‍යය, වීර කාව්‍යවලත්, ජනකවිවලත් මෙහි අවශේෂ දැකගන්න ලැබෙනවා. නමුත්, සංචාරය කරන්නන් ලියන සටහන් මිස සංචාරක කවි සංග්‍රහ වශයෙන් එක්වී තිබෙනු දැක නැතිතරම්. සනත් බාලසූරිය මෙහිදී කරන්නේ සංචාරක සටහන් ටික හිතේ ලියාගෙන, එයින් තෝරාබේරාගත්ත තැන් කිහිපයක් අරන්, නගරයක පැවැත්ම එක මිටට අරන් කවියක බහාලීමයි. ඔහු ලියන්නෙ නගරෙ ගැන ම නෙමේ, ඒ නගරෙ තියෙන ලක්ෂණ ම නෙමේ, නගරෙ ඉන්නා තමන් ගැනමයි, තමන් එක්ක ඉන්න අය ගැනයි. නැතිනම්, මේ ජීවිතේ නමැති වංකගිරිය ඇතුලේ හැසිරෙන අපිව නුහුරු නොදන්නා අමුතු නගරවල වෙසෙස පෙන්වමින්, තවත් අනු වංකගිරියක ලා අතරමං වන්නට හරිනවාදෝ මන්දා.

විප්‍රවාසීව විසීමේ සාංකාව පොදුවේ මේ කවි අරා සිටිනවා. ඔහු වෙසෙන්නේ, සිතියමක එක තැනක. ලංකාව නොවන එක රටක. ලොව පුරා සසරන අතරේ දී, සිතියමක ස්ථාන සලකුණුකරනවා. ඒ බොහෝ තැන්වලදි, ලංකාවේ යමක්, තැනක්, කෙනෙක්, සිදුවීමක්, වචනයක් හෝ අර රටේ නගරෙත් එක්ක ම මිශ්‍ර කරනවා. ඔහු යන හැමතැනක ම පාහේ තමන්ගෙ රටෙන් බෑගයේ තබා ගෙන ආව තුත්තිරි ගහක් දෙකක් ඒ ඒ නගරවල හලනවා. ලකුණක් ඉතුරු කරනවා. ආයෙ එතැනට යන කෙනෙක්ට ඒ ලකුණ පෙනුණත් නැතත්, ඔහු නොනැවතී සිය ගමන යනවා. නොතරගයෙන්.

 ‘ඔබ සිටී මුහුණ ලා
මා පැමිණි මාවතට

මම සිටිමි මුහුණ ලා
මට අහිමි දේශයට…’

මේ, සිතියමක් ලකුණු කළා වගේ කවියක්. අඩිකෝදු දුරක තරමේ ළඟක, එක ම මොහොතක, එක ම තැනක, කෝණ දෙකකින් අරන් එන මේ කවිය, ඇරඹුම සහ නැවතුම සනිටුහන් කරන්නක්. එක් කෙනෙක් ගමන පටන්ගන්න හදනවා, අනෙකා ගමන අවසන් කිරීමේ සීමාවක නැවතිලා ඉද්දි. කවියා මේ කවිය ලියන්නෙ බැංගලෝරයෙ ඉද්දි. ඉන්දියාවෙ ඉදන් ලංකාව දිහා බලාගෙන. අහිමි දේශය ඒනිසා තියෙන්නෙ ඔහු ඉදිරියෙන්.

• නේපාලයේ ‘මචපුචාරේ හෙවත් මාළු වලිගය’, අත්වැලේ පවසන පරිදි හිමාලය කඳු පන්තියේ මුදුනත මාළු වලිගය හැඩය ගත් උස් කඳු සිරස හඳුන්වන ඒ නම, නිරතුරු බුහුටි උච්චාරණයක් ඉල්ලා සිටින වචනයකි. මාළු වලිගයක් දකින සැරයක් ගානේ දැන් ‘මචපුචාරේ’ සිහිවේවි. මේ නම මැයැති නිර්මාණය සනත් බාලසූරිය ලියන්නේ, එවරස්ට් කන්ද සමඟ සසදන්නට පාඨකයාට ඉඩ හරිමින්. ලොක්කා මම යැයි ඕනෑ කෙනෙකුට කියන්නට ඉඩ දී සැබෑ ලොක්කා සිටී නිහඬව. ඕනෑ කෙනෙක්ට තමන් කවුදැයි වටහාගන්න ඉඩ හැර, තමන්වම වර්ණනා නොකරගෙන. මේ කව එබැවින් මචපුචාරේ ගැන ම නොවේ. මේ බලන්න කවියේ අවසන,

“තමන් පිස යන්න ආ සේදවන් වලා පොද
වලග කොනකින්
මොහොතකට අල්වා තබාගෙන

‘සැබෑ මුදුනත මමයැ’ යි නොකියා
ලොවේ මුදුනත
වලා සළු මැද හිස හොවාගෙන

‘මමැ’යි කියනා
කැමති කෙනෙකුට
කියන්නට දී
බිම බලාගෙන”

මේ කවියෙ මුල කියවද්දි පොකාරා විලේ ඉඳන් අහසට කරනමක් ගැහුව මාළුවෙක්ගෙ වලිගයයි මට මැවිලා පෙනෙන්නේ. මැදට එද්දියි හා මේක කන්දක්නෙ කියා සිහිවෙන්නෙ. අග හරියෙදි මේ කන්දක් නෙමේ මනුස්සයෙක්නෙ කියලයි හිතෙන්නෙ. මචපුචාරේ අමතක නොවෙන්න ම හිතේ කෙටෙන්නෙ එහෙමයි.

මේ කවිවල රිද්මය, නගර බිත්තිවල ගැටිලා එන රාව නගනසුලුයි. ඒ ඒ ස්ථානවල නම් උච්චාරණය කරන සැටියෙන් නැගෙන නදට, කවියේ රිද්මය එක් කිරීමෙන් එය නිමවා ඇති අන්දම, ආකර්ෂණීයයි. පොහොසත් බසක් උරුම නිසා, බහු පඨිත ලකුණු බසෙන් නිරූපණය වන නිසා, කවි පොතකදි නිතර නොදකින වදන් කියවන්නට ලැබෙනවා.

• නගරෙක පවුරක අලංකාරය වගේ ම, ඒ පවුර එලෙසින් හැදෙන්න බිලිවුණු මිනිස් පවුරක කතාවකුත් පවතිනවා, නොපෙනී. සුන්දරත්වය යට තියෙන කෲරත්වය දැනගැනීමත් මේ සංචාරක කවියෙදි අදාළයි. ඒනිසා, අත් හැරුණු ගොවිබිම්, මරණයේ කම්හල් ගැනත් මෙහි කවි ඇතුළත්. මේ කවි කළුයි – අර කවි සුදුයි ලෙස නොවී, දෙපස ම සම සමව පවතින බව දැනගෙන කියවීමෙන් අපේක්ෂා භංගවීම අවම වේවි. නගර වුණත්, ශුද්ධ සම්මත පිරිසිදු සුබ දෑ ම නොවන බව, මේ කවි වංකගිරියෙදි අපිට ආයෙ සනත් බාලසූරිය මතක් කරවනවා. අලුත් දෙයක් යම් තැනක සිද්ධවෙද්දි ඊට කලින් ඒ දෙය ම වෙනත් ආකාරයකට වෙනත් කෙනෙක්ගෙ අනුදැනුමෙන් පැරණි ලෝකෙත් බොහෝවිට එතන ම පස් ස්ථර ගණනකට යටින් ඉතිහාසෙ සිද්ධවෙලා තියෙන බව ඔහු අපිට කියනවා.

එහෙව් ඇඟ කිළිපොළන කවියක්, ‘මරණයේ කම්හල’. ජර්මනියේ දේශපාලන සිරකරුවන් රඳවා තියාගත්, අත් හැර දැමු යුද්ධායුධ කම්හල් භූමියක පිහිටුවාගත් පළමු නාසි කඳවුර, ඩඛව් ගැනයි මේ. සරලයි. භාව කම්පනය කරන කවි කියා මේවා හැඳින්වීමේ වරදක් නැති. ගෑස් ගඳ – දුම් ගඳ දැනෙනවා නේද?

“මේ තමයි ඒ තැන
නාන ගේකැයි ඔබව රවටා
වතුර මල් සීලිමේ රඳවා
විස ගෑස් එවා පපු කුහර පුරවා
බිම්බත් කෙරූ තැන

ගෑස් විස උරා බිව් මළවුන්
ඔබා පොදි පිටින් මෙහි පුරවා
අළු දූලි දුම් බවට හරවා
දුම් බටෙන් ගුවන්ගත කරවා
එර්දි කළ සොහොන් ගෙය”

‘එර්දි වුණා’, ‘එර්දි ප්‍රාතිහාර්ය පෑවා’ වගේ වචන අපිට දැනෙනවා වැඩියි. ඒවා ජන කතාවල, ආගමික කතාවල භාවිත වුණු නිසා. මේ කවියෙ විදියට මිනිස්සු ‘මැරුණා’ නොකියා මෙතනදි ‘එර්දි වුණා’ කිව්වම, ස්වාභාවිකව මැරුණා නෙමේ බලෙන් මැරෙව්වා, හොඳට උන් මිනිස්සුන්ව එකපාරටම ලෝකෙන් අතුරුදන් කෙරෙව්වා වගේ අදහසකුත් එනවා.

•’කළු වනය මැද සිදුහත් සිරිත’, මා ප්‍රියකරන අනෙක් කවයි. ජර්මානු ලේඛක හර්මන් හෙසගේ ජන්ම නගරය වූ කල්ව් නගරය ගැනයි. ඔහුගේ ප්‍රකට ම නවකතාව වන ‘සිද්ධාර්ථ’ සිහිකරගෙන, සනත් බාලසූරිය මේ කව ලියන්නේ, අර කී බෞද්ධ ආගමික පරිසරය මවමින්, ඊට පෑහෙන වදන්, රිද්මය සපුරමින්, ඒ දහමේ ලකුණු ගැබ්කරමින්. කවිය පටන්ගන්නෙ මෙතැනින්.

“අඳුරු දෙව්තුරු තුරින් ගැවසුණු
කාලවන් වනපෙත කරා
ආමි සිදුහත් සිරිත දකිනුව
නැත ද සැදැහැති සිත් දරා”

කල්ව්හි නාගෝල්ඩ් ගඟ – නේරංජනා නදිය බවට පත් කරන කවියා, රන්තලිය වෙනුවට සඳේ පිළිබිඹුව ගඟ දිගේ උඩුගං බලා යන්න සලස්වනවා. මේ අවස්ථාව කවියෙන් කියවද්දි චමත්කාරජනකයි.

මේ කවි; මවන රූ බොහොමයි. සෝතාප මුසු වදන් බහුලයි. සිතියමෙන් බෝ දුරයි. හැඳිනුමෙන් බෝ ළඟයි. කොහොමවුණත් මේ ‘කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි’, නූතන හැඩදරන, මනු දිවි සරන, සිතියමක් එළා පෙන්නුවාක් වැනි කවි එකතුවක් බව නොකියා බැරි!

 

 

Social Sharing
අවකාශය නවතම