සුදත් දේවප්‍රිය
අඹ යහළුවෝ ටෙලි නාට්‍යය කළාට පසුව බොහෝ කාලයක් නිහඬව සිටීමට මට සිදුවිය. රූපවාහිනීයේ කුමක් හෝ අදිසි හස්තයක් නිසා වසර දෙකක්ම මා සිටියේ නිකරුණේය. නව නිර්මාණයක් කිරීමට රූපවාහිනී බලධාරීන්ට යෝජනා කළ ද පිළිතුරක් නොවීය. හිත සනසා ගන්නට හැකි වූවේ ශ්‍රීමතී ලියනගේ මිය ගේ ළමා වැඩසටහන් වලට සහාය වීමෙනි. ඒ ගන්ධබ්බ කාලයේදී මා මිත්‍ර අපට වඩා බොහෝ අත්දැකීම් තිබූ එකල රූපවාහිනී නිෂ්පාදක වූ රොහාන් වැලිවිට මා සැනසීය.
“වෙලාව ආවම වැඩ කරපං. දැනට ඔහොම යමං.” රොහාන් කීවේ එසේය.
එහෙත් මට තව දුරටත් නිකරුණේ කාලය කා දැමීමට නොහැකිබව එවකට දැනී තිබුණි. අවසන් වතාවට ටී.බී. ඉලoගරත්නයන් ගේ “හපනා” නවකතාව රූපවාහිනීයට නිර්මාණය කරන්නට යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ ද එයද ඉටුනොවිණි. ආචාර්ය සාලමන් ෆොන්සේකා මා වෙනුවෙන් තර්ක කලේය. එහෙත් නාට්‍ය නිෂ්පාදනට කරන්නට අනුමැතිය නොලැබුනි. ඉනික්බිති ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් මම සැළලිහිණිවතින් පිටවීමි. පිටවන්නට මොහොතකට පෙර අපට කවදාත් ආදරය කරන ජනක මල්ලිමාරච්ච් අයියා කීවේ, ” මල්ලි දැන් යන්න එපා. තව ටිකක් හිටපං” කියාය. ඒ සැබැවින්ම ඔහු අපට ආදරය කරන නිසා ය.
” බැහැ අයියේ, මං හිත හදාගෙන යන්නෙ එලියෙ වැඩ කරන්න. .” මා රූපවාහිනීයෙන් බැහැර වීමී. ඒ කල්හි ආචාර්ය තිස්ස අබේසේකරයන් හමුවූ විට කීවේ මාර්ටින් වික්‍රමසිංහයන් ගේ මඩොල් දූව රූපවාහිනීයට නිර්මාණය කරන්නට වික්‍රමසිංහ පදනම සූදානම් වන බවයි.
” සුදත් කැමති ද ඒක කරන්න.?” මා සිටින්නේ වසර දෙකකින් කිසිඳු නිර්මාණයක් නොකල පිපාසයෙනි. ආර්ථිකය ද සකසා ගත යුතුය. ඊටත් වඩා මඩොල් දූව වැනි උසස් නවකතාවක් ටෙලි නාට්‍යය ක් සඳහා ලබා ගැනීම කිසිදා මාහට නම් කළ නොහැක්කකි. දෙවරක් නොසිතූ මම කැමතියි .. කීවෙමි.
තිර රචනය ලිවීම තිස්ස අබේසේකරයන් කරතැයි මා සිතුවද ඔහු කීවේ “ඉලන්දාරියා. අඹ යහළුවෝ ස්ක්‍රිප්ට් එක ලිව්ව නිසා තමුන්ම ලියනවා” යනුවෙනි. මා තිර නාටකය ලියූ අතර දිනපතා ලියූ කොටස් ඔහුට කියවීමි. කළ යුතු නිවැරැදි කිරීම් ඔහු පෙන්වා දුන්නේ ය.
අප මඩොල් දූව රූප ගත කළේ බලපිටිය, මහ කප්පින වලව්වේ හා කොග්ගල අවටය. ටෙලි නාට්‍ය ජීවිතයේ හොඳම ආස්වාදජනක අත්දැකීම් මා ලද්දේ එහිදීය. කොග්ගල ඔය, මාඳු ගඟ, කඩොලාන මැදින් කොත්දූව. මා දූව, ගල්මංදූව, අවට පිහිටි අයස්කාන්ත සොබාසිරිය විදිමින් කළ රූපගත කිරීම් කිසිදා අමතක නොවන්නකි. උපාලි ගිනිවැල්ලේ ලෙස භානුක මනෝරත්න, ජින්නා ලෙස අශේන් මංජුල, පියා ලෙස දයා අල්විස්, මව ලෙස චාන්දනී සෙනෙවිරත්න රඟපෑ හ.
ධර්මසේන ඉස්කෝලේ මහත්තයා වුවේ මනෝරත්න අයියා ය. ජී. ආර්. පෙරේරා ගමරාල වී ය. බාල මහත්තයා ලෙස අමිත්ත වීරසිංහ වෙනස්ම රංගනයක යෙදින. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව මෙහෙයවූ අතර විරාගයේ කලා අදියුරු වූ මිල්ටන් පෙරේරා නාට්‍යයේ කලා අධ්‍යක්ෂ වීය. වසන්ත විට්ටච්චි වෙස් ගැන්වූ අතර සහාය අධ්‍යක්ෂ වුවේ මා හිත මිත්‍ර සංජය මහ විතානගේ යි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණය කළ අතර හර්ෂ මාකලන්ද බන්ධුල නානායක්කාරවසම් ගේ ගී වෙනුවෙන් නව මානයක් ගෙනෙනු පෙනුණි.
මුලු මඩොල් දූව නව කතාව පුරාම මා දුටුවේ නිදහස සොයා වන්දනාවක යෙදුනු තරුණ ගැටවුන් යුවලකගේ දිරිය කතාන්දරයයි. එහි සිදුව්ම් මට තවමත් මතකය. පල්හොරු, වැදි සන්නිය, මුහුදු ගමන, මගඩි නැටුම හා සුරංචි යා, කජු කොල්ලය, සැබැවින්ම ළමුන්ගේ වීර වික්‍රමයන් ය.
එකල ටෙලි නාට්‍ය රූපගත කිරීමක් යනු සැබැවින්ම චමත්කාර ජනක ක්‍රියාවලියකි. එහෙත් වර්තමානයේ ඒ සියල්ල ගැන කුමන නම් කතාද? අවට වුවද අද පවතින පීඩනය වැඩිය. “සිතුවිලි” නමින් ජිවිතයේ අත්දැකීම් ලීවද එයද වෙහෙසකර ය. ඒ ලිවීමද මේ මොහොතේ ඇති යයි සිතේ.
කෙතරම් සුන්දරව ජිවිතය ගලා ගියද දුක් පීඩා නිම නොවෙයි. එය අප පසක් කරග යුතු යථාර්ථයයි. මෙලොව ජීවිතය කූඩාරමක් වැනිය. කතා කළ විට අප අකුලාගෙන යා යුතුය. මඩොල් දූවේ අප හා එක් වූ බෝ හිතැත්තෝ අප හැර ගොසිනි. ආදරණීය තිස්ස අබේසේකරයන් අපට අද අහිමිව ඇත. ඒ අඩුව පුරවන්නට නම් නොහැකිය. ජයලත් මනෝරත්නයන් ද නැත. ඒ අඩුවද පිරවිය හැකි ද? දයා අල්විස් ද ගොසිනි. සුරංචියා ලෙස රැඟූ ග්‍රැන්විල් රොඩ්‍රිගු මහ ගමරාළ වූ ජී. ආර්. පෙරේරා ද නැත. එපමණක්ද ?
වත්මන් සමාජ දේශපාලනය හමුවේ බොහෝ අය අපට අහිමිව ඇත. ඒ සියලුම සොයුරු සොයුරියන් අප නොදන්නා වුවද අප වැනි මිනිසුන් ය. කලෙක ප්‍රේමයෙන් දිවි ගෙවූ මිනිසුන් ය. ප්‍රේමය විඳින්නටත් පෙර හුස්ම හෙලූ මිනිසුන් ය. දූ දරුවන් මා පියන් ජීවත් කරන්නට දහඩිය හෙලූ සැබෑ මිනිසුන් ය. ඉතින් ඉතිරි ව ඇති සැම මිනිසෙකුම අප විසින් හැකි ලෙසින් රැකගත යුතු නොවේද? ආදරය, ප්‍රේමය දැක්විය යුතු නොවේද..? “මක්නිසාද ප්‍රේමය යනු දෙවියන් වහන්සේ ය” – 01 යොහාන් 04:16