සායනික සටහන් නොවේ…!

-ඩිල්ශානි චතුරිකා දාබරේ-

විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත්‍යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්, ආර් එල් ස්පිට්ල්, කලීඩ් හුසේනි… එකවර ම මතක් වෙන නම් කිහිපයක්. විශේෂයෙන් වෙනත් විෂයක පරිචය ලැබූ කෙනෙක් සාහිත්‍ය ලේඛනයට එන එක මාව උනන්දු කළ මාතෘකාවක්. මොකද, ඔවුන්ට තියෙනවා පටන්ගැන්මේ සිට ම සාහිත්‍ය ලියූ අයෙකුගේ භාෂා භාවිතයට වඩා ෆෝකස් වුණු, පෙරීමක් වුණු, සාරයක් වුණු, වටේ දුවන්නෙ නැති, යුනීක් භාෂා රටාවක්. මින් පෙරත් මේ ගැන යම් යම් සටහන්වල දි සඳහන් කළා.

උදාහරණයක් විදියට, ඉංජිනේරු විෂය, ගෘහ නිර්මාණය, ගණිතය, චිත්‍ර කලාව වැනි විශයක් ගැන ප්‍රාමාණික, එහි කිඳාබැහැලා ඉන්න කෙනෙක් පසුකාලීනව ලියද්දි එයාලගෙ රචනා රටාව හැදෙන්නෙ අර විශයන්වල, ඒ හැඩතලවල සැකිලි, මූලත් එක්කම යි. මේක පැහැදිලිව පේන්න ගන්නවා ඔවුන්ගේ භාෂාවෙ ස්ථර නිරීක්ෂණය කරද්දි.

වෛද්‍ය බෝධිනී සමරතුංග ‘රැස’ පුවත්පතට ලිව්ව ලිපි මාලාව, ‘සායනික සටහන් නොවේ’ යනුවෙන් පොතකට එකතු කරනවා. මේ සටහන් කියවද්දිත් අපිට අර ඇයට ම ඔබින භාෂාවෙ ලක්ෂණ හඳුනගන්න ලැබෙනවා. සම්පූර්ණ නිර්මාණත්මක ලේඛනයක් විදියට නැතිව, තමන්ගෙ අත්දැකීම් දින සටහන් නැතිනම් එක්තරා memoir එකක් විදියට ලියද්දි, බොහෝ අය ප්‍රවේශ වෙන වාර්තා ලිවීමක ස්වභාවය හෝ දත්ත පද්ධති ඇතුළත් කිරීමේ ස්වභාවය ඇයගේ නැහැ. ඒ වෙනුවට ඇය සරල, නමුත් ඇතැම් තැනක කාව්‍යත්මක බසකින් ඇගේ අත්දැකීම් අපට කියනවා. හුදෙක් තමන්ගෙ විෂයට ම අදාළ නොකරගෙන, පොදුවේ මිනිස්සුන්ට ආමත්‍රණය කළ හැකි ‘කාන්තා බස’ක් ඇය සතු යි. අධිකාරී බලයක් ඇය දරන්නේ නෑ. සරලයි. ආලවට්ටම් නෑ.

“පතුල බිඳුණු සිමෙන්ති පොළොවේ වල ගොඩැලිවල වැටි වැටී ට්‍රොලි තල්ලුකරන, රෝද ගැලවෙන්න ඔන්න මෙන්න තිබෙන මලබැඳුණු පාපුවරු නැති රෝද පුටු මගේ මතකය හාරා අවුස්සයි. එහෙව් කොරිඩෝවල යන එන අතර පිටකොන්දට දැනෙන අමාරුව අකුරු කළ පිළිකාවකින් රෝගී වී දුක්විඳ අප අතරින් වෙන් වූ අනුදි රන්මුතු සොයුරියගේ ෆේස්බුක් සටහන් මතක් වේ.

‘මට මගේ රට ගැන දුක හිතෙනවා’, කියා ඔවුන්හට මම කොහොම නම් කියන්නද?”

“මේ කඩින්කඩ වැහි වැටෙන අවධිය වූයෙන් පසුගිය සමයේ නිහඬව සිටි මදුරු රංචුවලට පණ ඇවිත් ඇති සෙයකි…” (සායනික සටහන් නොවේ)

‘මම හිතුවා’, ‘මම දැක්කා…’ ආදි වශයෙන් ‘මම’ දකින හඟින දේවල් මගේ කෝණයෙන් ලියන නිසා කියවන්නාට ළංවෙන්න පහසුයි. මේක ලියන්නෙ ඩොක්ටර් කෙනෙක් නේ, අපි සාමාන්‍ය මිනිස්සුනේ කියල හිතන තරමේවත් මානසික රික්තකයක් කියවන්නාත් ඇයත් අතර හැදෙන්නෙ නෑ ඒනිසා.

ඒ සියල්ලටත් වඩා මේ සටහන් මානුෂීය බවින් පිරිලා. හෘදයංගමයි. සංවේදීයි. ළතෙත්. මෙළෙකයි. සෙනෙහැතියි. හිතැතියි. කෝමල යනගි අත්තක් වගේ. මොනතරම් පරාසයක අත්දැකීම් වුණත් මැදහත්ව ඒවා දරාගන්න ඇය තමන්ගේ ජීවිතේ ගැන අපිට කියන්නෙ ඒක තිත්ත බෙහෙතක් නොකර. ඒනිසා බෙහෙතත් එක්ක ම ලොසින්ජරයකුත් දීලා, ඔළුවත් අතගාලා කතාබහ කරනවා. ගතේ ලෙඩට වගේ ම හිතේ ලෙඩටත් බෙහෙත් කරන නයිටින්ගේල්වරියක් පොතෙන් අපිට මැවෙනවා.

වෛද්‍යවරියකගේ ජීවිතය ගැන සාමාන්‍ය මිනිස්සු නොදැන සිටිය පැති ගැන වැටහීමක් මෙයින් ලැබෙන එක තවත් කරුණක්. තමන්ගෙ මුහුණට කෙළ ගහන රෝගියාටත්, තමන්ට ගුටි දෙන රෝගියාටත්, තමන් දෙන වෛද්‍ය උපදෙස් පිළිපදින්නෙ නැති රෝගියාටත්, තමන්ට බැණ බැණ යන රෝගියාටත් එක ම විදියෙ උපේක්ෂාවකින් සහ මානුෂීය බවකින් සලකන්නෙ කොහොමද කියලා අපි විශ්මයපත් වෙනවා. වෛද්‍යවරුන්ටත් ලෙඩ හැදෙනවා නේද කියල, ඔවුනුත් අපි වගේම කොටසක් නේද කියල ආයෙ හිතන්න සලස්වන මේ සටහන්, ‘සායනික’ නෙමේ, ‘මානුෂික’ සටහන්. ඒනිසා, මා ලියන මේ කෙටි සටහනත් ‘සඳෙන් සොමි ගෙන රත්ගලෙන් පහන් පැහැ උකහා ගෙන…හනා වනා…’ ඇල්දියෙන් අඹරා, සංවේදීව ලියූ බවක් ඔබට හැඟුණොත් ඒ වෙනුවෙන් කමන්න.

තීරු ලිපි එකතුවක් විදියට බෝධිනී සමරතුංග මේ සටහන් ලියන විදිය ගැනත් යම් අදහසක් ගන්න පුලුවන්. සටහනේ සැකිල්ල සැලසුම් කර ඇති සැටි, පටන්ගන්න හැටි, අවසන් කරන හැටි, කතාවේ උච්චතම තැන් සලකුණු කරන හැටි, දෙබස් හා සංවාද කථන, සංක්ෂිප්තව ලිවීම් සහ විස්තර කළ යුතු තැන් ආදිය ගැන ඇය දැනුවත්. එක ම පොතේ එක ම පරිච්ඡේදය ඇතුළෙ විවිධ රස භාව වැඩෙනවා. එක් සටහනක් කියවලා කඳුළු පිරුණු දෑසින් ම, තව සටහනක් කියවල සතුටුවෙන්න පුලුවන්.

ඒවගේ ම, ඇයට තමන්ගෙ ම මතයක්, දැක්මක් තියෙන බවත්, එය කිවයුතු විදිය ගැන වැටහීමක් තිබෙන බවත් පැහැදිලියි.

‘Motherhood is a choice ! මාතෲත්වය යනු ස්ව කැමැත්‍තකි’ (සායනික සටහන් නොවේ)

වෛද්‍ය බෝධිනී සමරතුංග, උතුරේ රෝහල්වල සේවය කරන කාලයේ ලැබූ අත්දැකීම් පොත සමබර කරනවා. කඳවුරුවල සෞඛ්‍ය පහසුකම් නොමැතිවීම්, මිනිසුන් විඳි දුක්වේදනා, බිම් බෝම්බ, අනතුරු ඇඟවීම් ආදිය එක්ක යුද්ධය ගැන හීරෙන මතක අහුරක් ඇය අරන් එනවා. එක ම පසුබිමක ඉඳගෙන, ඒ විශයෙහි පැති කිහිපයක් ආවරණය වෙන විදියට ඇය ලියනවා. 2018 රැස තීරුවට ලිව්ව සටහනක අන්තිම වැකි දෙක මෙහෙමයි.

“දැන් අවුරුදු නමයකට කිට්ටුයි. ඒත් තාමත් වැළලුණු බිම්බෝම්බ බලාගෙන ඉන්නවා, පාදයක් නෙමෙයි ජීවිතයක් එනකම්”

මේ වැකියත් එක්ක ම මං මුහුණදුන් ඇත්ත ම පෞද්ගලික යමක් කියන්න ඉඩදෙන්න. ගිය සතියෙ බස් රථයේ ඉඳගෙන මේ පොත කියවමින් ගමනක් යද්දි, පෙරළිලා තිබුණේ ‘බිම්බෝම්බ’ කියන පරිච්ඡේදයට. මට එහාපැත්තේ වුන්නු මහත්තයෙක්, පොතට එබිලා ඒ මාතෘකාව දැකලා එයාගෙ අත පෙන්නලා කිව්වා, ‘මේ තියෙන්නෙ බිම්බෝම්වලින් මට ඉතුරුවුණු කැළැල් තමයි’ කියල. බැලින්නම්, ඔහු ඒකාලෙ හමුදාවෙ සේවය කළ අයෙක්. දැන් තමන්ගෙ ම රැකියාවක් කරගෙන ඉන්න මැදිවියේ මහත්මයෙක්. බිම්බෝම්බ සහ යුද්ධය නිසා වුණු දේවල්, තමන්ගෙ මිතුරන්ට වුණුදේවල්, යුද්ධයෙන් පස්සෙ මානසිකව ගොඩ එන්න ඔවුන් කළ කී දේවල්, ආදිය ගැන ඔහු කියන්න ගත්තා. පොතේ කියවගෙන යන දෙයට ම ගැළපෙන දෙයක් එවෙලෙ ම මුණගැහුණු එක මටත් අමුතු අත්දැකීමක් වුණා.

ආයෙත් පොතට එමු.

‘දරුවනි, යුද්ධ නොකරන්න. එහි වීරකමක් නැත…’ (සායනික සටහන් නොවේ)

මේ වැකි දෙක තුන, මාව ලියෝ තෝල්ස්තෝයිගේ ‘යුද පෙරමුණක තෙමසක්’ (සෙවෙස්තපෝල් සටහන්) වෙත අරගෙන ගියා. ක්‍රිමියානු යුද්ධයේ ඉදිරිපෙළ කාලතුවක්කු වෙඩික්කාරයෙකු වශයෙන් තරුණ අවධියේ රුසියානු භට කණ්ඩායම වෙනුවෙන් සේවය කළ තෝල්ස්තෝයි, ප්‍රංශ සහ රුසියානු හමුදා යුද පවත්වන සෙවෙස්තපෝල් නගර මධ්‍යයේ සිටිමින් රචනා කරන ලද සටහන්, මේ. ඔහු යුද්ධය ගැන ඇත්ත මෙහෙම ලියනවා.

‘ඔබට යුද්ධය දක්නට ලැබෙන්නේ සංගීතය හා රණබෙර මධ්‍යයේ ධජ පතාක ලෙළ දෙන්නා වූද, සාඩම්බර ගමන් ඇති ජෙනරාල්වරුන්ද සහිත අලංකාර විචිත්‍ර ස්වරූපයෙන් නොව එහි සැබෑ ස්වරූපයෙනි. එනම් ලේ තුළිනි. වේදනාව තුළිනි. මරණය තුළිනි…’ (යුද පෙරමුණක තෙමසක්)

කතුවරිය ජීවිතය ඇතිවීමත් නැතිවීමත්, දුකත් සතුටත් යන දියදහම දැනහඳුනාගෙන ඉගෙනගන්නෙ රෝහලෙන්. මේ වචනවලින් අපි දකින බෝධිනීගේ උපේක්ෂාව, මැදහත්බව, අවබෝධය සහ ‘මෝරන වීකරල නැමෙයි බර වැඩිවෙන කල’ ගුණය ඈ රෝහල් ජීවිතයෙන් ම ප්‍රගුණ කරන්නට ඇතැයි සිතනවා. ඇගේ වචනයට ම ඉඩ දීලා මම මේ සටහන නිමාකරනවා.

“රුක්මනී අම්මාගේ ජීවිතයක වෙහෙස එසේ නිමා විය. නැවත වාට්ටුවට යද්දී නව ජන්ම වාට්ටුවෙන් ඇසෙන්නේ අලුත උපන් බිළිඳුන්ගේ හැඬුම් ය. රෝහල යනු ලෝක ධර්මතාව කැටිකර පෙන්වන ජීවන තක්සලාවකි”

Social Sharing
අවකාශය නවතම