එලිගන්ට් රිද්මයක් තිබුණ මහානාම..!

-තරිඳු ශ්‍රී ලොකුගමගේ-

රොෂාන් මහානාම ගැන මට තියන මුල්ම මතකය තමයි, අසූව දශකයේ අන්තිම හරියේ තනි ස්පීකරයේ නැෂනල් කැසට් රේඩියෝවකින් ඒ නම අහන්න ලැබීම. ඒ දවස්වල අපි හිටියේ හැන්දෑවට ධීවර නවෝදයේ තේමා ගීතය ඇහෙනකොට චිමිනි ලාම්පු පත්තු කරන්න වුණු ගෙදරක, කුලියට. කළුසුදු ටීවී එකට පණ දීපු කාර් බැටරිය නිතර ලෙඩවෙමින් තිබුණා (එතකොට ටීවී එකෙන් ටර්බෝප්‍රොප් ප්ලේන් එකක සද්දෙ වගේ සද්දයක් එනවා). තාත්තා ඒ බැටරිය බයිසිකලේ බැඳගෙන ගිහිං චාජ් එකට දාපු වෙලාවට අපට පිහිටට ආවේ ඔය රේඩියෝව.

මං හිතන්නේ ගොඩක් වෙලාවට ආරම්භක පිතිකරු යුගලයෙන් තරගයේ මුල්ම පන්දුව පිළිගත්තේ මහානාම. බෙල්ල කවර් වෙන්න ලේන්සුවක් තියාගෙන ආපු නිසා Ninja Turtles එකේ Shredder වගේ පෙනුණු චන්දික හතුරුසිංහ හිටියේ අනික් අන්තයේ. ඒ දවස් වල ගොඩක් වෙලාවට, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙන වෙලාවට, ‘දිව එනවා පන්දු යැවීමට අසවල් අන්තයේ සිට’ කියන එකට පස්සේ ගොඩක් වෙලාවට කියවෙන්නේ එක්කෝ ‘ආරක්‍ෂිත පහරක් එල්ල කරනවා ‘කියන එක. නැත්තං ‘දැවී යනවා මේ අවස්ථාවේදී’ කියන එක (මේක, ඔබට ලාවට හරි මතක නම්, ප්‍රේමසර ඈපාසිංහගේ හඬින් මවාගන්න).

ඒ වුණත්, මහානාම උන්හිටි ගමන් බටර් කේක් වගේ ක්ලැසික්, චීස් කේක් වගේ රසවත් සහ වෙඩින් කේක් වගේ සැමරුම්බර ඉනිම් තමන්ගේ වාර්තා අතරට එකතු කරගත්තා. පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙනවත් එක්කම, මහනාමගේ පාද පා ඉන්න පැත්තේ ඉඳන් මැද ඉන්න පැත්තට එනවා, මුළු ඇඟම චිත්‍රසේනමය රිද්ම මාත්‍රයකින් චලනය කරගෙන. ඊට පස්සේ රෝස අත්තකට මාර්තු හුළඟක් මුණගැහෙන තරමට සන්සුන්ව මහානාමගේ පිත්තට පන්දුව මුණගැහෙනවා. ඒත් කලාතුරකින්, බොහොම කලාතුරකින්, ඒක මැඩගස්කරයට වදින ඉංග්‍රීසි නමක් සහිත ප්‍රචණ්ඩ සුළි කුණාටුවක වේගය ගන්නවා. ඒ වෙලාවට ඒ පන්දුව ගොඩක් වෙලාවට දුවන්නේ ස්ක්වෙයාලෙග් හෝ මිඩ්විකට් පැත්තට. මම හිතන්නේ නෑ, ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණමය යුගයේ (හෝ ඊට පස්සේ) හිටපු කිසිම පිතිකරුවෙකුට ඒ තරම් එලිගන්ට් රිද්මයක් තිබුණා කියලා.

ඒ දවස්වල පළවුණු ‘ක්‍රිකට් ලොව’ සඟරාවේ හාස්‍යමය ලිපියක් පළවුණා, දශක පහකට විතර පස්සේ අනාගතයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයක් ගැන. ඒ තරගයේ විස්තර විචාරකයෝ දෙන්නෙක්ගේ දෘෂ්ටි කෝණයෙන්, විස්තර විචාරයක ස්වභාවයෙන් තමයි ලිපිය ලියවිලා තිබ්බේ. අවශ්‍ය වෙලාවට හැකිළිය හැකි වහලක් සහිත ක්‍රීඩාංගණයක් වගේ දේවල් ඒකෙ තිබුණා. ලිපියේ අවසාන හරියේ එක විස්තර විචාරකයෙක් කියනවා, මේ වගේ දෙයක්. “ලංකාවේ ක්‍රිකට් දැන් සෑහෙන දුරක් ඇවිත්. හැම දේම වගේ දියුණු වෙලා. ඒත් තාමත් අපට හරිහමන් ආරම්භක පිතිකරු යුගළයක් හොයාගන්න බැරි වුණා. දශක ගාණකට කලින් නම් රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ කියල පිතිකරුවෝ දෙන්නෙක් ලංකාවට ඉඳල තියනවා. ඒත් ඒ දෙන්නා විශ්‍රාම ගියාට පස්සේ අපට කවදාවත් හරිහමන් ආරම්හක පිතිකරු යුගළයක් හොයාගන්න බැරිවුණා.”

අනූවේ දශකයේ මුල, මේ අනික් පොතේ පිටකවරයේ ඉන්න පුද්ගලයා තව තල ඇටයක් වගේ කොල්ලෙකුත් එක්ක එකතු වෙලා, මේ සටහනේ ඉහළ ඡේදවල මම ලියපු ප්‍රධාන කාරණා දෙකතුනක් සඳහටම වෙනස් කළා කියල ඔබ බොහෝ දෙනෙක් දන්නවා. ඒ පොත කියවල ඉවර වුණු දවසක, පුළුවන් වුණොත් ඒ ගැන වෙන මානෙකින් ලියන්නම්. ඒත් ඒ ඩබල විශ්‍රාම ගියාට පස්සේ, ඩිල්ශාන් සහ තරංග වගේ නම් තාමත් අවකාශයේ පා වුණත්, මහානාම-හතුරුසිංහ හෝ ජයසූරිය-කලුවිතාරණ වගේ පාන්-පරිප්පුමය පෑහිල්ලක් අපට ලැබුණේ නෑ කියලයි මම හිතන්නේ.

1997 අගෝස්තු දෙවෙනිදා ඉඳන් හයවෙනිදා වෙනකල් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව එක්ක තිබුණු ටෙස්ට් තරගයේදී මහානාම සහ ජයසූරිය එකතු වෙලා දෙවෙනි විකට් එකට ලකුණු 576 ක් එකතු කළා (ඒ වාර්තාව තමයි 2006 දී සංගක්කාරයි මහේලයි කැඩුවේ). මහානාම කුම්බ්ලේගේ පන්දුවකට කඩුල්ල මුවා කරලා ලකුණු 225 කට අවුට් වුණා. ඒ අවුට් වුණු වෙලාවේ එයා විනිසුරු තීරණය ලැබුණු සැණින්, ලියුමක් තැපැල් කරලා ආපහු ගෙදර යන තරම් සැහැල්ලුවකින් ආපහු ක්‍රීඩාගාරයට ගියා. ඒත් පෞද්ගලික ලෝක වාර්තාවක් පෙනිපෙනී ලකුණු 340 ට අවුට් වුණු වෙලාවේ ජයසූරියට ඇඬුණා. විශ්වාස කරන්න. මේ දැවීයාම් දෙකම මට ඊයේ සිද්ධ වුණා වගේ රූපමය වශයෙන් මතකයි.

මේක පොත් පහක් ලියන්න පුළුවන් විෂයක්. ඒත් මට කම්මැලියි. මේ ටික ලිව්වෙත්, ලංකාවේ ක්‍රිකට් ගැන දැවැන්ත පොතක් මට තෑගී දීලා මාව අවුස්සපු ඩිල්ශානි චතුරිකා දාබරේගේ බලකිරීමට.
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම