“සංස්කෘතික කාන්තාරයක් කරා”

මේ අජිත් තිලකසේන මහත්තය 87 දි ලිව්ව පොතක නම. සෑහෙන කාලෙක ඉඳන් අපේ රටේ කතාබහ කෙරෙන දෙයක් මේ සංස්කෘතික අපගමනය. සංස්කෘතික වශයෙන් අප ගමන් කරලා තියන්නෙ ඉදිරියට ද පසුපසට ද?

ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව ජනසමාජයක් විදිහට ආපස්සට ගිහින් තියනවා කියන එක ඔප්පු කරන්න ගොඩක් උදාහරණ ඕනැ නෑ. ප්‍රශ්නය තියන්නෙ මේක නතර වෙන තැන කොතනද කියන එක. තොරතුරු තාක්ෂණය පුපුරා ගිහින් තියන, ලෝකයට හැමෝම නිරාවරණය වෙලා තියන මේ වගෙ කාලෙකත් මේ නඩත්තු වෙන සංස්කෘතික පසුගාමීත්වය නතර වෙන්නෙ කොතනින්ද කියන එක.

මේ ගැන ආසන්නම සිදුවීම් දෙකක් විසින් මේ සටහන ලියන්න උනන්දුව දැල්වූවා.

⛔ පේරාදෙණියේ සරසවි යුවළකගෙ වැළඳගැන්මක් (හග් එකක්) විනය පාලකයන්ට අපෝ වීම නිසා මතුවුණ තත්වය
(සහ ඒ ආශ්‍රයෙන් මතුවුණ සරසවියේ ඇඳුම් සම්බන්ධයෙන් වන ගෝත්‍රික ආකල්ප)

⛔ ජාතික රූපවාහිනියේ යළි විකාශය කරන “අඹ යහළුවෝ” නාට්‍යයෙ නෙළුම් බණ්ඩාරගේ පයිප්පයෙන් දුම් බීම ආවරණය කරන්නට වළිකෑම

සිප ගැනීමක්වත් නොවෙන වැළඳ ගැනීමක් නිසා මෙහෙම සංවාදයක් 2023 දීත් ඇති වෙනවා කියන්නෙ ඉතින් ආයෙ ඒ ගැන කතා කරන්න ඕනැ නෑ. මෑත පරම්පරාවල පොඩි උන්ට නිව්ස්වලින් අයිස් ගහන විදිහ ගැන පූර්ණ අවබෝධය දීලා “නෙළුම් බණ්ඩාර”ගෙ පයිප්පෙ වහනවා. ඉස්සරහට බණ්ඩාරනායකගෙ පයිප්පෙත් පින්තූරවලින් අයින් කරන්න බැරි නෑ.

මුලින් කිව්වා වගෙ, මේ තත්වය පරාභවයක් මිසක් පෙරදි මීට වඩා සෑහෙන ඉදිරිගාමීකමක් රටේ තිබුණා.

මාලනී ෆොන්සේකාලා වියතක් විතර මිනිගවුම් ඇඳලා ෆිල්ම්වල රඟපෑවා. හැම කොමර්ෂල් ෆිල්ම් එකකම වගෙ ෆරීනා ලායිගෙ ක්ලබ් ඩාන්ස් එකක් තිබ්බා. ෆිල්ම් හෝල්වල 9.30 ෂෝ එකක් තිබ්බා. 9.30 ෂෝ එක ඉවර වෙලා පාරට එද්දි අවම වශයෙන් රාත්‍රි 11 පනිනවැති. ඒ කාලෙ කෙල්ලො කොල්ලො ඒ වෙලාවට ෆිල්ම් එක බලලා ටැක්සියක නැගලා ගෙවල්වලට ගියා.. (තාම මේ තත්වය කොළඹ කේන්ද්‍රව ෂොපින් මෝල් ආශ්‍රිත සිනමාහල්වල තියනවා – ඔව් කැපිටලිස්ම් වැඩ කරන තැන්වල සංස්කෘතික වශයෙන් ඉදිරිගාමී තමා. කුරුඳුවත්තෙ රෑ ජොගින් පාත්වල කාන්තාවන්ට තනියෙන් ජොගින් යන්න පුළුවන් වුණාට තවම කදුරුගස් ආරෙ බෑ)

අවුරුදු 40කට පස්සෙත් දැනට වඳවෙලා ගිහින් තියන දුම් පයිප්පයක් වහන්න ටෙලිනාට්‍ය පදාස බොඳ කරනවා. වැළඳ ගැනීමක් වෙනුවෙන් වැඩසටහන් සංවිධානය වෙනවා. මේවා වෙන්නෙ, අයතුල්ලා කොමෙයිනි කෙනෙක් දසක ගණනාවක් ආගමික මූලධර්මවාදී පාලනයක් ගෙන ගිය රටක නෙවෙයි.

පාලකයන් වගෙ ම මේකෙ සෑහෙන කොටසකට ඉතින් මෑතක පහළ වුණ ජනප්‍රිය බුද්දාගම වගකියන්න ඕනැ. අනික් ටිකට රටේ අධ්‍යාපන පද්ධතිය වග කියන්න ඕනෑ.

දේශපාලන වෙනසක් වෙනුවෙන් වන සාකච්ඡා හැඟීම්බර යාන් හෑලිවලින් එහාට ගිහින් මේ වගෙ තීරණාත්මක දේවල්වලට අභිමුඛ නොවෙන්නෙ ඇයි කියන එකත් වෙනම කතා කළ යුතු ප්‍රශ්නයක්.

– සඳුන් ප්‍රියංකර විතානගේ –

 

Social Sharing
අවකාශය නවතම