ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

තරණ සීගිරි ඔපෙරාව

-සාලිය ඉඳුරුවිතාන-

පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේවරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ ” තරණ සීගිරි කැන්ටාටාවේ ” භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි. මීට සියවස් ගණනාවකට කලින් සීගිරි කැටපත් පවුරේ ලියන ලද භාවාත්මක මිනිස් හැඟීම් සංගීතයෙන් රචනා කර, එය කතා පුවතක් ලෙස වර්තමානයේ ජීවත් වන අපගේ හදවත් සංවේදී කරන්නට තරම් සාගර සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර, ඔවුනට අප හිස නමා ආදරය කළ යුතුය.

ලාංකීය සමාජය තුළ Cantata, Opera කියන සංගීතමය සංකල්පයන් කණ ඇසුණු විට, අපට නිතැනින්ම සිහියට නැගෙන්නේ ප්‍රේමසිරි කේමදාස නම් ඒ සංගීත පෞරුෂයයි. බුද්ධ පරිනිර්වාණය පදනම් කරගෙන “පිරිනිවන් මංගල්‍යය ” නමින් ලංකාවේ පළමු වරට කැන්ටාටාවක් නිර්මාණය කලේ කේමදාස මාස්ටර් නම් ඒ අපූර්ව සංගීත සංරචකයයි. කැන්ටාටාවක් කියන සංගීතමය සංරචනයක් කියන්නේ යම්කිසි කතා වස්තුවක් සංගීතයෙන් රචනා කර, එම කතා වස්තුව ගායනා විලාසයෙන් ඉදිරිපත් කිරීමයි. එහෙත් එහි පිටුපස ඇති කායික, මානසික සහ බුද්ධිමය ශ්‍රමය අති විශාල දුෂ්කර ක්‍රියාවලියක් කියන එක වචනවලින් කියන්න බැරි තරම් සංකීර්ණයි.

සාගර සුරේෂ් විජේසිංහ

දහහත්වන සියවසට අයත් බැරොක් යුගයේ නිර්මාණය වුන කැන්ටාටාව බොහෝ දුර‍ට නිර්මාණය කෙරුනේ ක්‍රිස්තියානියට අයත් ආගමික සංකල්ප හා කතා මුල්කරගෙනයි. යුරෝපය තුළ කැන්ටාටාව ගැන කතා කිරීමේදී මුලින්ම සිහියට නැගෙන්නේ ජර්මන් ජාතික ජෝන් සෙබස්තියන් බාක් Jhonn Sebastian Bach කියන සංගීත සංරචකයයි. එයින් පසු Luigi Rossi, Pietro Antonio Cesti, Giacomo Carissimi වගේ ඉතාමත් ප්‍රබල කැන්ටාටා සංගීත සංරචකයින් අපට මුණ ගැසෙනවා.

Opera, Cantata, Symphony සහ Concerto වගේ සංගීත ශානරයන් අපේ සමාජයෙන් බොහෝ දුරස් වුවත්, කේමදාස මාස්ටර් උත්සාහ ගත්තා මෙම සංගීත ශානරයන් අප සමාජයට හඳුන්වා දෙන්නට. ඔහුගේ ඇවෑමෙන් පසුව සාගර ඉතාමත් දුෂ්කරව මේ සංගීත චාරිකාවට අවතීර්ණ වී සිටින්නේ වංකගිරියක් තරණය කරනවා වගේ වෙහෙසකර ගමනකටය. ඔහුගේ මේ වෙහෙසකර ගමනින් අපගේ විඩාබර හදවත් සනසාලන්නට සිසිල් දිය දහරක් බඳු භාවාත්මක ස්වර රටා වරුසාවකින් අප සිත් සනසාලීම ගැන අපි ඔහුට සහ ඔහුගේ ඔපෙරා කණ්ඩායමට නැවතත් හිස නමා ආදරය කරමු.

තනපට් වෙළ සරග්මල් සිසිලස් කොට් ලු
දැක මන ම නියැළෑ බෙයන්ද්හි රන්වනක් දිග්නෙත්
327 වෙනි කුරුටු ගීය

සිසිල සඳහා සුවඳ මල් තන පටෙහි වෙළා ගත් රන්වන් දිගැසියක බෙයදෙහි දැක මගේ සිත දොම්නස් විය.

Social Sharing
අවකාශය නවතම