අර්ජුන සොයිසා! නොමැකෙන දාර්ශනික මතකයක්!

-පාඨලී චම්පික රණවක-

මහාචාර්ය අර්ජුන සොයිසා අභාවප්‍රාප්ත වී ඇත. ඔහු කලක් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. දශකයකට අධික කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා සිය අසනීප තත්වය පවා සිය දාර්ශනික දැක්ම මත විග්‍රහ කර ගනිමින්, උපේක්ෂා සහගත ලෙස ජීවිතය මෙන්ම මරණයටත් මුහුණ දුන්නේය.

මහාචාර්ය අර්ජුන සොයිසා අයත් වූයේ කොළඹ ධනවත් ප්‍රභූ පවුලකට ය. ඔහුගේ පාසල වූයේද කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔහු ජීවත් වූයේ ද ඒ අසලම වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ ය. බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලබන අවධියේ, ඔහු ලේබර් පක්ෂයටත්, එහි උන් “මිලිටන්ට්” කණ්ඩායම අයත් වූ ට්‍රොස්කිවාදී ගුරු කුලයටත් ඇදී ගියේය. ආචාර්ය වික්‍රමබාහු, ආචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය කුමාර් ඩේවිඩ්, ආචාර්ය ශ්‍රියානන්ද වැනි දාර්ශනික ආභාෂයක් ඇති ගණිතය හා ඉංජිනේරු විද්‍යාව හැදෑරූ විද්වතුන් පිරිසක් සමග, ඔහු සුහද සබැඳියාවක් ගෙන ගියේය.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තද, ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ඉංජිනේරු වෘත්තියේ හෝ රැකියාවක් කිරීමට මට උනන්දුවක් නොවින. පූර්ණකාලීන දේශපාලනයට කැපවෙමින් අපි පරිසර හිතකාමී දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා මිතුරෝ ගොඩනැංවීමට ක්‍රියා කරමින් සිටින අවධියක, සෝවියට් සංගමයේ සිදු වූ “ග්ලාස්නොට්” හා “පෙරස්ත්‍රොයිකා” පිළිබඳ සංවාදයකදී මම පළමු වරට මහාචාර්ය අර්ජුන සොයිසා හඳුනාගතිමි. මාක්ස්වාදය දර්ශනයක් ලෙස හරිද වැරදිද, සෝවියට් සංගමය අසාර්ථක වූයේ ඇයි, යනාදිය ගැන විවෘත සාකච්ඡාවක් ලංකාවේද ඇති වෙමින් තිබුණි. මගේ ස්ථාවරය වූයේ සෝවියට් ක්‍රමය පමණක් නොව මාක්ස් ලෙනින්වාදය ද අසාර්ථක බව ය. මහාචාර්ය අර්ජුන සොයිසා මගේ තර්කය එලෙසම පිළි නොගත්තත් ඒ පිළිබඳව සංවාදයක් සංවිධානයට ඉදිරිපත් විය.

ඒ විවෘත විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික ශ්‍රේණියේ රැස්වීම් ශාලාවක තවත් විද්වතුන් පිරිසක් සමඟ, එක්පසෙක මමත්, අනෙක් පස ආචාර්ය වික්‍රමබාහුත් ලෙසය. කොමියුනිස්ට් ප්‍රකාශනය, ප්‍රාග්ධනය, ඩූරින්ග් විරෝධය, ලෙනින්ගේ එකතුකළ කෘතීන්, ට්‍රොස්කි ගේ නොනවතින විප්ලවය, ආදිය පිළිබඳ දින කීපයක දීර්ඝ විවාදයක් හා සංවාදයක් ලෙස එය පැවැත්විණ. විවාදයේ ප්‍රතිඵලය පිළිබඳව ද විවාද පැවතියත් මහාචාර්ය අර්ජුන මා හට එතුමා ද සිටි පර්යේෂණ ආයතනයක සහයක පර්යේෂකයෙකු ලෙස පත්වීමක් ලබා දුන්නේය. එය මගේ දේශපාලන කටයුතුවලට බාධාවක් නොවුණු අතර මගේ දැනුම සංවර්ධනයට මහත් පිටුවහලක් විය.

අපේ මුල්ම පර්යේෂණය වූයේ යාන්ත්‍රික ඵලදායිතාවය (Productivity) පිළිබඳවය. එය ඉන්පසු ශක්තිය හා එන්ට්‍රොපි සංකල්පය දක්වා දීර්ඝ විය. ඉන්පසු ඔහුගේ ම ආරාධනයෙන් මම විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ උපදේශකයෙකු ලෙස අර්ධකාලීනව සේවය කළෙමි. සම්ප්‍රදායික ඉංජිනේරු ගණිතයට අමතරව විද්‍යාත්මක චින්තනය, වේද ගණිතය, විශේෂ සාපේක්ෂතාවාදය, භාගික ජ්‍යාමිතිය (Theory of Chaos and Fractal Geometry) හා ක්වොන්ටම් යථාර්ථය පිළිබඳ කුඩා පාඩම් මාලා සකස් කළෙමු. එයට අමතරව නූතන භෞතිකවාදය, තිරසර සංවර්ධනය ආදිය පිළිබඳව ද සුවිසල් දැනුම් සම්භාරයක් මා වෙත ලැබිණි.

පසුව පරිසර ඇමති ලෙසත්, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති ලෙසත්, බලශක්ති ඇමැති ලෙසත් කටයුතු සාර්ථක කර ගැනීමට හා ජාත්‍යන්තර ආයතන සමඟ විධිමත්ව ගනුදෙනු කිරීමට, එකී දැනුම හා අත්දැකීම මට බෙහෙවින්ම උපකාරී විය. මහාචාර්ය අර්ජුන සොයිසා පසුව හින්දු දර්ශනය, ජෛන දර්ශනය හා බෞද්ධ දර්ශනය පිළිබඳවත්, එහි විවිධ ගුරුකුල වූ සර්වාස්තිවාදය, ක්ෂණ වාදය හා වෙනත් මහායාන, ථෙරවාද හා වජ්‍රයාන දර්ශන පිළිබඳවත් මහත් උනන්දුවක් දැක්වූ අතර අපව ද ඒ සඳහා යොමු කළේය. මේ රටේ පමණක් නොව විදේශවල ද දාර්ශනික සංවාද වලට අපව සම්බන්ධ කෙරිනි.

මගේ දැනුම හා දාර්ශනික ජීවිතයට වැඩිම දායකත්වයක් ඇතිකළ තනි ගුරුවරයා මහාචාර්ය අර්ජුන සොයිසා බව කෘතවේදීව සිහිපත් කරමි.
එතුමා වැනි තමන් විශ්වාස කළ දැක්මට අනුව ජීවත් වූ, සැමවිටම අසාධාරණයට එරෙහිවූ, අවංකව සිය රාජකාරි කටයුතු සිදුකළ, නිහතමානී පුද්ගලයෙකු අද විශ්වවිද්‍යාල වලින් සොයා ගැනීමට වත් නැත. විශ්වවිද්‍යාල පද්ධතියද කොතෙක් දුරට හරසුන්, ධනය හා ලෞකික පහසුකම් හඹායන විද්‍යාර්ථීන් ගෙන් පිරී ඇත.
මහාචාර්ය අර්ජුන සොයිසාට නිවන් සුව පතමි!

 

 

Social Sharing
නවතම විශේෂාංග