සැමන් ගමන …!

සැමන් කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සැමන් ටින් එක. ඒ කාලෙ නම් සතොස සැමන් ටින් එකත් ටිකක් ගණන් භාන්ඩයක් තමා. නමුත් ලංකාවෙ අපි සැමන් කියල හඳුන්වන්නෙ මැකරල් එහෙමත් නැත්නම් සාඩින් වලට. සැමන් මාළුවා මේ දෙන්නගෙන්ම වෙනස් පුදුමාකාර මාළුවෙක්. කිලෝ පනහක් දක්වා බරටත් මීටර් එක හමාරක් දක්වා දිගටත් වර්ධනය වෙන්න පුළුවන් සැමන් විශේෂ ලෝකේ ඉන්නවා.

සැල්මොනිඩාඑ ( Salmonellae) කියන පවුලට අයත් මේ මත්ස්‍ය විශේෂයේ ට්‍රවුට්, චාර් හා ග්‍රේයිලින්ග් වැනි උප වර්ග ඉන්නවා. ට්‍රවුට් කිව්ව්ම මතක් වෙන්නෙ ෂර්ලෝක් හෝම්ස් මහත්තයා නම් ඔබ හරි. වසර දාස් ගාණක ඉඳල මේ සැමන් මාළුවා ආහාරයක් විදිහට මිනිසුන් අතරත් සමහර සතුන් අතරත් ඉතා ජනප්‍රියයි. අත්ලාන්තික් හා පැසිෆික් සාගරය තමයි මේ අයගෙ ප්‍රධාන ස්වාභාවික වාස භූමිය. මේ අයගෙ වයස් කාලය අවුරුදු දෙකේ සිට හත දක්වා පරාසයක දිවෙනවා. නමුත් වයස තීරණය වෙන්නෙ දඩයම්කරුවන්ගේ දක්ෂතාවයත් අවසන් ගමන යන්නට මේ අය තීරණය කරන දවසත් එක්කල කීවොත් නිවැරදියි.

මොකද්ද මේ අවසන් ගමන? ඒ ගැන තමයි අපි කතා කරන්න යන්නෙ.

මේ මාළුවා ගැන මගේ කුතුහලය ඇතිවුනේ වසර කීපයකට කලින් නෝර්වේ රාජ්‍යයේ වාසය කරන්න අවස්ථාවක් ලැබුණු නිසයි. සංචාරක ව්‍යාපාරය හැරුනම නෝර්වේ ප්‍රධානතම ආදායම සැමන් මාළුවා තමයි. මහ මුහුදෙන් හෝ ගංඟා වලින් අල්ලනවට වඩා සැමන් මාළු ගොවිපළ වල ඇති කිරීමෙන් මේ රටට එන අදායම වැඩියි. හිතා ගන්න පුළුවන්ද සැමන් මාළු මේ රට කොයිතරම් අදායමක් රටට ගේනවද කියල. ඩොලර් මිලියන නෙවෙයි.. ඩොලර් බිලියන.

මෙන්න 2019 වසරේ සැමන් මාළුවා නෝර්වේ රජයට උපයල දුන්න මුදල – ඩොලර් 8,453,550,000.00. ලංකාව වටේම මුහුද තිබිලත් ඇයි අපි මාළු පිටින් ගේන්නෙ, ඇයි අපිට මෙහෙම ආදායමක් මාළුන්ගෙන් උපයන්න බැරි වගේ ප්‍රශ්ණ අහන්න එපා.. මගේ ලඟ ඒවට උත්තර නෑ. මගේ නෝර්වේ සගයන්ගෙ ප්‍රධානතම විනෝදාංශයක් තමයි මාළු බෑම.. එහෙමත් නැත්නම් බිලී බෑම. එයිනුත් වඩාම ජනප්‍රිය සැමන් මාළු ඇල්ලීම. සැමන් මාළු ජීවත් වෙන්නෙ මුහුදෙ..
එතකොට මගේ මිත්‍රයො මුහුදට යනවද මාළු අල්ලන්න කියල කෙනෙකුට අහන්න පුළුවන්. නෑ. එයාල මාළු අල්ලන්නෙ ගඟේ. ඔව් මුහුදෙ මාළු ගඟේ.  ඒක තමයි රසවත්ම කථාව.

මේ මාළු බිත්තර එහෙමත් නැත්නම් පැටව් හදන්නෙ ජීවිතේට එක පාරයි. ක්‍රේග්ගෙ මිත්‍ර බූවල්ලාගෙන් මේක ටිකක් වෙනස්. මේ මාළුවො සාගරේ ජීවත් වුනාට බිත්තර දාන්න නම් ඒ අය ඉපදුනු ස්ථානය හොයාගෙන යා යුතුයි. මෙහෙම හිතමු තේරුම් ගැනීමේ පහසුවට… මීගමුව අවට මුහුදෙ මාළු රංචුවක් ඉන්නවා. මේ අය ඔක්කොම ඉපදිලා තියෙන්නෙ නෝටන් බ්‍රිජ් තියන සීතල ඇල පාරක. ( නෝර්ටන් බ්‍රිජ් තියෙන්නෙ නුවරඑළිය ප්‍රදේශයේ) එතකොට මේ මාළු රංචුවම කාලෙ හරි කියල තේරුනාම ඔක්කොම එක්ක මේ නෝර්ටන් බ්‍රිජ් වල තියන ඇල පාර හොයාගෙන යන්න ඕනෙ. මුලින්ම එක වයස කිට්ටුව ඉන්න මේ මාළු රංචුව අතරෙ කථිකාවක්, සම්මුතියක් ඇතිවෙනවා. සමහර විට ඒක වචන වලින් සන්නිවේදනය වෙන එකඟතාවක් නොවෙන්න පුළුවන්. මුලින්ම ත්‍රිකුණාමලයට ගිහිල්ල මහවැලි ගඟේ මෝය හොයා ගන්න ඕනෙ. ඊට පස්සෙ මහවැලි ගඟ දිගේ ඉහලට පීනන්න ඕනෙ මේ නෝරටන් බ්‍රිජ් වල තියන සීතල ඇල පාරෙ මේ මාළුන් ඉපදුනු තැන දක්වා.

මෙන්න මේ විදිහට හැම සැමන් මාළුවෙක්ම පාහේ මේ ගමණ යන්න ඕනෙ. නෝර්වේ ස්වීඩනය ඩෙන්මාර්කය බ්‍රිතාන්‍ය ස්කොට්ලන්තය අයර්ලන්තය කැනඩාව එක්සත් ජනපදය ඇලසකාවේ ප්‍රදේශ වල තමයි මේ සැමන් මාළුන්ගෙන් මව් බිම් පිහිටල තියෙන්නෙ. මේ ගමනට සති දෙක තුනේ ඉඳල මාස අට, නමය දක්වා ගෙවෙන අවස්ථා තියනවා. මේ හැම මාළුවෙක්ම දන්නව මේක අවසන් ගමන කියලා.

මිනිසා, වලස්සු, බීවරයො, තාරාවො, උකුස්සො ආදී දඩයක්කාරයන්ගෙන් පිරිච්ච මේ ගමන ජීවිතයත් මරණයත් අතර සටනක්. ඒ මදිවට මිනිස්සුන්ගෙ සංවර්ධන වැඩ නිසා සමහර ඇල පාරවල් හිඳිල ගිහින්. නැත්නම් ඒ හරහා පාලම්, බැමි, නගර ඉදිවෙලා. ලොකුම අවදානය තමයි ඇල වේලි. නිකමට හිතුවොත් මීගමුවෙ ඉඳන් නෝර්ටන්බ්‍රිජ් දක්වා යන ගමනෙදි වික්ටෝරියා වේල්ල හමුවුනොත් මොකද වෙන්නෙ.? එක්දාස් නමසිය හැට හැත්තෑ ගනන් වෙනකල් බටහිර ජාතීන්ට ඒ තරම් දැනුමක් තිබ්බෙ නෑ මේ අයගෙ ගමන ගැන.

සංවර්ධනයට කියල සෑම ගඟක් හරහාම මහ වේලි බැන්ඳා. නමුත් වාසනාවකට සියළුම මත්සයන්ගෙ ජීවන රටාව අධ්‍යයනය කරාට පස්සෙ මේ අය තීරණය කරනව සෑම වේල්ලක් බඳින තැනකම පහල ගඟේ ඉඳල ඉහලට යන්න කෘතීමව ඇළ පාරක් හැදිය යුතුයි කියලා. මේව හඳුන්වන්නෙ ස්ටෙප්ස් ස්ට්‍රීම් කියල. අපි මේ කතා කරන්නෙ වික්ටෝරියා වේල්ල වගෙ විසි තිස් ගුණයක් විශාල ව්‍යාපෘති ගැන. මෙහෙම අතර මග නැවතෙන සැමන්ල ආපහු සාගරයට යන්නෙ නෑ. එක අතකින් මේ ඒ අයගෙ ජීවන චක්‍රය.. අනිත් අතින් ආපහු පීනල යන්න ශක්තිය ඉතුරු වෙලා නැහැ. එතනදි වෙන්නෙ මහන්සි වෙලා මිය යන තෙක් ආපහු වේල්ල හරහා යන්න උත්සාහ කරන එක විතරයි. මට නිකමට මතක් වෙන්නෙ ඉස්සර කාලෙ සිරීපාදෙ වඳින්න පිටත් වෙච්ච ආච්චිල සීයලා.

ඔක්කොම ගේ දොර ලියල දීල ඒ අය හිමේට පිටත් වෙන්නෙත් මේ විදිහටද කියල මට හිතුනා. අපි හිතමු මාළු සිය දෙනෙක්ගෙ රංචුවක් සාගරයෙන් පිටත් උනා කියලා එතනින් හතලිහක් පණහක් තමා ඔක්කොම භාදක වලින් දඩයක්කාරයන්ගෙන් බේරිලා ගමනාන්තයට ලඟා වෙන්නෙ. මේ අය එකිනෙකාට උදව් කරනවා සමහර මාළුන් හිතාමතාම පෙරමුණ ගන්නව බිලිවෙන බව දැන දැනම. නමුත් ම්ං තේරුම් ගත්ත දේ තමයි ඒ බිලිවෙන මාළුවාට දැනුම තියෙනව පිටිපස්සෙන් එන අනිත් අයට මේ විදිහට මඟ හදල දෙනව කියලා.

අන්තිමේදී ජීවිත කාලයම බලාගෙන හිටපු සීතල වතුර පිරුණු නිස්කලංක තැනක් වුණු ඒ අයගෙ උපන් භූමියට ඒ ගොල්ලො ලඟා වෙනව. මේ ගමන අවසන් වෙන්න කිට්ටුව ඒ අයගෙ ඇඟේ පැහැය තවත් ආකර්ශණීය වෙනවා. බොහෝ විට රතු හෝ රිදී පාටට හැරෙනවා.
ඒ හොඳම සහකාරයෙක් ආකර්ශණය කර ගන්න. ඒ එක්ක්ම … මුහුනෙ පෙනුම රෞද්‍ර පෙනුමක් ගන්නවා.. ඒ බාධක බිඳෙගෙන ගමනාන්තයට ලඟාවෙන්න තියන අධිශ්ඨානයත් දඩයක්කරුවන් බිය කරන්න හැකි උපක්‍රමයක් විදිහටයි බොහෝ දෙනා දකින්නෙ.

මේ දිග ගමන රංචුවක් විදිහට එකට ආවත් අන්තිම මොහොතෙදි ඒ අය වෙන් වෙනව නැත්නම් සටන් කරනව හොඳම ස්ථානය තෝර ගන්න සංසර්ගයේ යෙදීමට වගේම බිත්තර දාන්නත්. බිත්තර දැම්මට පස්සෙ එයාලගෙ ගමන වගේම ජීවිත ගමනත් ඉවරයි. මේ දීර්ඝ ගමන එන්න ඒ අයට තිබ්බ ඔක්කොම ශක්තිය වැය කරල ඉවරයි. ආපහු යන්න තරම් හයියක්වත් උවමනාවක්වත් නෑ. බොහෝම සමාදානයෙන් මියෑදෙන්න ඉඩ අරිනවා. මේ තමයි අවට ඉන්න කුරුල්ලන්ට වළසුන්ට වගේම අනිකුත් සියළුම සතුන්ට අවුරුදු සමය.

සාගරයෙන් ගෙනාපු අළුත්ම මාළු නොමිලේ සීමාවක් නොමැතිව. කාලෙ හරි ගියාම මේ බිත්තර පුපුරල පොඩි උන් මිලියන ගානක් එලියට එනවා. එයාලගෙ අම්මල තාත්තලගෙ සිරුරු වලින් ඉතුරු කරල ගිය ආහාර ඕනෑ තරම් තියනවා. මේ පුංචි ඇලපාරෙ හෝ පොකුණෙ පොඩ්ඩක් ලොකු මහත් වෙන මේ මාළු පැටව් අම්මල තාත්ත්ල ආපු පාරෙම ආපහු යනව සාගරේ හොයාගෙන. ඒ යන ගමන් මේ පොඩි උං මඟ සලකුණු මතක තියාගන්නවදෝ ආපහු එන්න කියල මට නිකමට හිතෙනවා.

මෙහෙම සාගරයට ගිය පොඩි ඈයො කාලෙ හරි ගිහාම ආපහු සැරයක් එයාලගෙ නත්ත පනත්ත ගියා වගේම.. අම්මල තාත්තල ගියා වගේම පාර හොයන් යනව ගඟ, ඇළ දොළ දිගේ. දැන් හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි කොහොමද අවුරුදු ගාණකට පස්සෙ මේ මාළුවො හැතැප්ම දාස් ගාණක් ගෙවාගෙන ඉපදුණු තැන හොයාගෙන යන්නෙ කියලා.

සමහර දීර්ඝ පර්‍යේශණ වලින් පසුව අපිට ඒකට උත්තරයක් තියෙනවා. පෘථිවියේ චුම්භක ක්ෂේශ්ත්‍රයේ තරංග වලට අනුව දිශාව හා දුර ගනණය කිරීමේ හැකියාවක් මේ මසුන්ගෙ මොලේට තියනවා. ඒ හැකියාවට පිං සිද්ධ වෙන්න තමයි මේ අය උපන් බිම හොයාගන්නෙ. ඔව් හිතුව හරි මිනිසුන්ට වඩා බොහෝ සතුන් දියුණුයි. එතකොට මිනිස් ක්‍රියාකාරම් හෝ ස්වාභාවික ආපදා නිසා ඇල මාර්ග හරස් වුනාම මොකද වෙන්නෙ. එතකොට හරි මාර්ගය හොයා ගන්න ආයෙ ආ‍යෙත් උත්සාහ කරන සැමන් මාළුවා වෙහෙස නිසාම මිය යනවා.

සති අන්තයේ මගෙ මිත්‍රයොත් එක්ක සැමන් මාළු අල්ලන්න ගිය මාව ටික කාලෙකට පස්සෙ එච්චර ජනප්‍රිය නෑ ඒ ගොල්ලො අතර. මුලින් මාත් මේ මාළු ඇල්ලීමෙන් විනෝදයක් ලැබුවත් කතාව දැනගත්තට පස්සෙ එක මාළුවෙක් හරි නිදහස් කරල යවන්නයි මට ඕනෙ වුනේ. විහිළුවක් විදිහට ගත්තත් සමහර යාළුවො ඒ තරම් කැමති උනේ නෑ ඒ වැඩේට.

ඊළඟ ප්‍රශ්ණය, එතකොට ගොවිපොල වල ඇති කරන මාළු.?

නෝර්වීජියානු සත්ව ගොවිපොල හිමියො කියන්නෙ බිත්තර දැමීමේ කාලයට එන්න කලින් ඒ අයව නිෂ්පාදනාගාරයට යවනව කියලයි. එතකොට බිත්තර දාන මසුන් පවා මේ ගොවිපළ වලම ඉපදිච්ච අය නිසා උපන්බිම සොයා යාමේ ගැටළුව ඇතිවෙන්නෙ නෑ කියලයි කියන්නෙ. මේක කොයිතරම් දුරට සත්‍යද කියන්න මට පුළුවන් කමක් නෑ. මේ මසුන්ගෙ ගමන අඩපණ කරල තියනව වේලි බැඳීම නිසා කියල අපි කලින් කථා කරා. මේකෙන් ඇතිවෙච්ච පාරිසරික ගැටළුව ඛේදවාචකයක්. සමහර සතුන් විතරක් නෙවෙයි සමහර ශාඛ හා පැලෑටි පවා වඳවෙලා යන තැනට පත්වුනා. හේතුව මේ මාළුන්ගෙන් ලැබෙන ඛණිජ මගින් පෝශණය වුණු සතුන් හා ශාඛ පෝෂන ඌණතාවයකට ලක්වුණු නිසා. වාසනාවකට මේ රටවල් ගැටලුව පරක්කු වී හෝ හඳුනගත්තා. මේ සැමන්ගෙ උඩුගං පිහිනීම පෘථිවියේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්.

ගඟ දිගේ ගමනෙදි දාස් ගණන් පවුල් යැපෙනව මේ මසුන්ගෙන්.. සංස්කෘතීන් බිහිවෙනවා. ( රතු ඉන්දියානුවන් මේ මාළුන්ට බොහොම ගෞරවයෙන් සලකනව).
මේ මාළු අහාරයට ගන්න සතුන්ගේ මලපහ වලින් ශාඛ හා කෘමීන් යැපෙනවවා. ගස් වැල් වලට මේ ඛණිජ අත්‍යාවශ්‍යයි. මල් පල ගන්න.. මී මැස්සන්ට අඬ ගහන්න… ජෛව විවිධත්වය සුරකින්න සැමන් නැතුව මේ ලෝකෙට බෑ.

මගෙන් මිත්‍රයෙක් ඇහුව සැමන්ගෙ ගමන නැවතුනොත් මිනිසා වඳවෙයිද කියල. එහෙම වෙන්නත් ඉඩ තියනවා. හැත්තෑ ගණන් වල බැඳපු වේලි නිසා ගම් නියම්ගම් පිටින් පාළු වුනා උතුරු ඇමරිකාවෙ. ඒ දවස්වල කාටවත් තේරුණේ නෑ හේතුව. දඩයක්කාරයන් බහුල වුනත් මේ සැමන්ගේ උඩුගං බලා පීනීමේ ගමන බලන්න ලස්සනයි නෝර්වේ වලදී වගේම එක්සත් ජනපදයේ ඔරෙගන්හිදීත් මට ඒ වාසනාව ලැබුන. මේ ඇල මාර්ග දිගේ දවස් ගණන් ඇවිදීම ලේසි පහසු නැතත්.. ඒ හරිම ආස හිතෙන ගමණක්. අපූරු නැද්ද සැමන් මසුන්ගේ මේ දයිර්‍යමත් ගමන.

…………………………………………………………………………………..
මේ අය ගමන් කරන ප්‍රධාන ගංඟාවල් කීපයක් තමයි මේ දුර ප්‍රමාණ එක්ක. ( විකිපීඩියාට අනුව)
කොලොම්බියා ගඟ 2000 km ඇමරිකා එක්සත් ජනපදය
ෆ්‍රේසර් ගඟ. 1375 km කැනඩාව
කූපර් ගඟ 467 km ඇලස්කාව, ඇමරිකා එ ජනපදය
ටේ ගඟ 188 km ස්කොට්ලන්තය
ස්පේ ගඟ. 172 km ස්කොට්ලන්තය.

උපුටා ගැනීමකි

Social Sharing
අවකාශය නවතම