අතාර්කික හා හැඟුම්බර දේශපාලනය

-ලසන්ත ද සිල්වා-

1931 සුද්දාගේ ඩොනමොර් කොමිසමෙන් මෙරට මහජනයාට පිදූ සර්වජන ඡන්ද බලය සිංහලේ හරි තුන්හෙළේ හරි රාජාණ්ඩුවක් තිබුණා නම් හෝ සුබ පැත්මේ තුඩුවෙන් මෙපිටට බටහිර යාත්‍රිකයන් නැව් පැද්දේ නැත්නම් හෝ ලැබෙන්නේ නැති වන්න⁣ට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට එදා මෙන්ම අද ද ලංකාවේ මහජනයා තමන්ට ඡන්ද බලය ලැබී ඇත්තේ කුමක් සඳහා ද යන්න ගැඹුරින් කල්පනා කරන බවක් පෙනෙන්නට නැත.

කුලය, වර්ගය වැනි අනන්‍යතා සාධක මත හෝ පටු ආර්ථික ලාභ ද, හැඟීම් ද මත පදනම්ව මැතිවරණ දිනා මෙරට දේශපාලන පක්ෂ බලයට පත්වීම මුල්ම මැතිවරණයේ සිට අද දක්වාම සිදු විය. මැතිවරණ සිතියමේ 2005න් පසු කාලය පමණක් සළකා බැලූවද අදත් සිදුවන්නට නියමිත කුමක්දැයි වටහා ගත හැකිය.

2005 මහින්ද රාජපක්ෂ බලයට පත්වූ මැතිවරණය – බුලත්කොළය එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන එන්නට ස්වල්ප වැඩි ඡන්ද ප්‍රමාණය එදා ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණ හා ජාතිකවාදී කණ්ඩායම් කිහිපයක උදව්වෙනි. ඒ අවස්ථාවේ ඔවුන් ආමන්ත්‍රණය කළේ බහුතරයේ හැඟීම්වලටයි. එදා බලයට පත්වූ රාජපක්ෂ, රෙජීමකරණයෙන් රට බරපතල ව්‍යසනයකට ඇද දැමීය. ඒ ගැන අභ්‍යන්තර හෝ ස්වයං විවේචනයක් ජ.වි.පෙ තුළ පසුව ඇති වන්නට ඇති නමුත් එකල ඉහළ ජ.වි.පෙ සාමාජිකයෙකු මට පැවසුවේ යකුන් දෙන්නෙක් අතරින් ටිකක් හොඳ එකා තේරීමට 2005 දී සිදු වූ බවයි.

2010 සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා වූ මැතිවරණයේදී රාජපක්ෂ පැරදවීමේ වුවමනාව මත පක්ෂ කිහිපයක් සන්ධාන ගත වූ අතර දෛවෝපගතව ජ.වි⁣.පෙ ද එහි පාර්ශ්වකරුවෙකු විය. මේ මැතිවරණයද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ජයග්‍රාහී යුද්ධයක නියමුවන් බව ඇඟවූ අතර මහින්ද රාජපක්ෂ පපුවට වැරෙන් තට්ටු කරමින් සාර්ථක ලෙස හැඟීම් ආමන්ත්‍රණය කර ජය ගත්තේය. ඒ ඡන්දයේදී ද මහින්ද දිනුවේ එදා ජ.වි.පෙ ඇතුළු බුලත් කොළය හදා දුන් මැතිවරණ සටන් උපක්‍රමවලිනැයි මම සිතමි. (දිලිත් ජයවීරලාගේ කාර්ය භාරය ඔහු හා ඉරාජ් කයිවාරු ගසන වීඩියෝවල ඇත.)

2015 මැතිවරණය තරමක් වෙනස් ස්වභාවයක් ගත් අතර ජ.වි⁣.පෙ ඊට ඍජුව සහභාගී වූයේ නැත. මගේ තක්සේරුව මෛත්‍රීපාල ඇත්තටම දිනයිද යන්න ගැන සැකය සහ ජනරාල්ගේ පරාජයෙන් ලද අත්දැකීම නිසා ඕන දෙයක් වෙච්චාවෙ වුණාම බලා ගන්නම් න්‍යායෙන් ඔවුන් සිටි බවයි.

2019 මැතිවරණය තනිකරම දින්නේ ව්‍යාජෝක්තීන් සහ හැඟීම් මතිනි. ඒ වනවිට දෙමළ පොදු සතුරා පරාජය කො⁣ට තිබූ බැවින් සිංහල ගෑනුන්ගේ පැලෝපීය නාල තලන, වඳ බෙහෙත් කෑමවලට දමන මුස්ලිම් සතුරෙකු නිර්මාණය කොට පාස්කු ප්‍රහාරයද උත්ප්‍රේරකයක් කරගන්නට බැසිලියානු ප්‍රචාරණ යාන්ත්‍රණය සමත් විය. ඒ අවස්ථාවේ ජ.වි.පෙ මාලිමාව තනා ගනිමින් වෙනම අපේක්ෂකයෙක් සටනට යොදවන බව නිවේදනය කල අතර ඒ අපේක්ෂකයා කවුදැයි යන්න රටම මුව අයාගෙන බලා සිටියදී ගාල මුවදොරදී නිවේදනය කළේ ඔහු අනුර කුමාර බවයි.

කෙසේ වෙතත් මේ වනවිට මාලිමාව පළාත්පාලන මැතිවරණයේදී සැළකිය යුතු ජනතා කැමැත්තක් ලබා ගන්නා බව පෙනෙන්නට තිබේ. එහෙත් අවාසනාවට බිම් මට්ටමේ තවම සිදු වන්නේ හැඟීම් විකිණීම බව මගේ නිරීක්ෂණයයි. පසුගිය මැතිවරණවලදී පොහොට්ටුව සමග එක්ව සිටි බොහෝ දෙනෙකු මේ මැතිවරණයේදී මාලිමාව සමග එක්ව පුදුමාකාර අන්දමේ ප්‍රගතිශීලීත්වයක් පෙන්වන්නට වෑයම් කරනු පෙනේ. මගේ තක්සේරුව ඒ සියලු දෙනා හැඟීම්වලින් අර්ධාන්ධව මත්ව සිටින බවයි. ඒ වැනි අයගේ ඡන්දවලින් දිනන කණ්ඩායම්වල පසු ඉරණම දුක්ඛ දායකය. ඔවුන්ගේ අපේක්ෂා ඉටු කළ නොහැකි වුවහොත් ඊළඟ මැතිවරණයකදී ඡන්ද අහිමි වේ. ඔවුන් සතුටු නොකර රට හදන කතා බොරුය. ලංකා දේශපාලනයේ මේ අභියෝගය ජය ගන්නා ආකාරය උපාය මාර්ගිකව හැදෑරිය යුතුය. එදා ගෝටා බදු කපද්දී හුරේ දැමූ අය අද බදු අය කරද්දී වැලපෙන අන්දම උත්ප්‍රාසයට හේතුවකි. ඒ ඇතමුන්ද අනාගත ආණ්ඩුවක සහන අපේක්ෂාවෙන් අපිත් අහවලුන්ට කියමින් සමාජ මාධ්‍ය පෝස්ට් පළ කරයි.

ඉතින් පුරවැසියෙකු ලෙස මට සිතෙන්නේ ඉස්සරහටද යහපත් කිසිවක් සිදු වන්නට ඇති ඉඩ අවම බවයි. අවාසනාවට කිසිම විකල්පයක් මට නම් පෙනෙන්නේ නැත. එක්කෝ අප කළ යුත්තේ අලුත් ජනතාවක් සොයා ගැනීමය. මාලිමාවට සුබ පතමින් ආරාධනාවක් කරමි. 2005 දී ඔබේ ප්‍රධාන කොටස් කරුවා වන ජ.වි⁣.පෙ රෝපණය කළ ඇතැම් වල් පැළ අද ද උවදුරකි. මේ ගමන යද්දී හැකි නම් ඒවාද ගලවමින් ගමන් කරන්න.

උපුටාගැනීමකි…

Social Sharing
නවතම විශේෂාංග