ශ්‍රී ලංකාවේ බුදු පිළිම සහ බෝධිසත්ව පිළිම – 3

ප්‍රගීත් අලුත්වත්ත

අනුරාධපුර යුගයේ මැද භාගයේ දී ථෙරවාදීන්ට වඩා මහායානිකයින් බලවත්ව සිටියා. භූමියේ විශාලත්වය අතින් වගේම, කලකෘති සහ ගෘහනිර්මාණ අතිනුත්, ථෙරවාදී මූලස්ථානය වූ මහා විහාරයට වඩා මහායානිකයින්ගේ අභයගිරි-ජේතවන විහාර ඉදිරියෙන් සිටියා.

බුදු පිළිම වලට අමතරව බෝධිසත්ව පිළිම වන්දනාව මහායානිකයින් අතර ඉතා ජනප්‍රිය වී තිබුණා. ඒ වගේම බෝධිසත්ව වරුන්ගේ භාර්‍යාවන්ගේ පිළිම ද වන්දනා කෙරුණා.

වජ්‍රධර, ආක්ෂෝභය, අමෝඝසිද්ධි, අමිතාභය, රත්නසම්භව ආදී බුදුවරුන්ට සම්බන්ධ සමන්තභද්‍ර, මෛත්‍රීය නාථ, අවලෝකිතේශ්වර නාථ, මංජු ශ්‍රී, සුධනකුමාර, ජාම්බල ආදී බෝධිසත්වවරුන් ගණනාවක් පිදුම් ලැබුවා. වජ්‍රපාණී, විශ්වපණී, පද්මපාණී ආදී නම්වලින් හැඳින්වුණේත් මේ බෝධිසත්වයින්මයි. මේ බෝධිසත්වයින් රාජකුමාර ලීලාව හෝ තාපස ලීලාව යන වේශයන් දෙකකින් පෙනී සිටියා.

බෝධිසත්වවරුන්ගේ භාර්‍යාවන් හැඳින්වුණේ ශක්තීන් නමින්. තාරා, වසුන්දරා ආදී බෝධිසත්වවරියන් ඒ අතර සිටිනවා. මේ අයටත් විවිධ වේශ තියෙනවා.

උදාහරණයක් ලෙස අමිතාභ බුදුන්ගේ බෝධිසත්වයින් වන්නේ අවලෝකිතේශ්වර නාථ හෙවත් පද්මපාණී බෝධිසත්වයින්. ඔහුගේ භාර්‍යව වන්නේ තාරා දෙවඟනයි. තාරා දෙවඟනගේ එක් වේශයක් ආර්යජාංගුලික තාරා නමින් හැඳින්වෙනවා.

මහායාන බෝධිසත්ව පිළිම වැඩිහරියක් නිර්මාණය වුණේ ක්‍රි.ව.7 සියවසේ සිට ක්‍රි.ව. 12 සියවස දක්වා කාලයේ හෙවත් අනුරාධපුර යුගයේ අවසන් භාගයේදීයි. මේ කාලයට අයත් මහායාන බෝධිසත්ව පිළිම අභයගිරිය, ජේතවනය වගේ අනුරාධපුර නගර මධ්‍යයෙන් වගේම මන්නාරම, ත්‍රිකුණාමලය, තිස්සමහාරාමය වගේ වෙරළ ආශ්‍රිත වරාය නගරවලින් ද හමු වී තිබෙනවා. එපමණක් නෙවෙයි බදුල්ල ගම්පොළ, කෑගල්ල වගේ රට මැදින් පවා ඒවා හමුවෙනවා.

නමුත් පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු රජු විසින් ථෙරවාදය සහ් මහායානය එකතු කිරීම නිසා ඉන් පසුව බෝධිසත්ව වන්දනයේ විශාල විපර්යාසක් ඇතිවුණා.

 

මහායාන බෝධිසත්ව පිළිම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පර්‍යේෂණ ගණනාවක් සිදු කර තිබුණත්, ඒ තොරතුරු සමාජ ගත වී නැහැ.

උපුටාගැනීමකි.

Social Sharing
අවකාශය නවතම