මෙයාගෙ වයසෙ අනිත් බබාලා වගේ මෙයා කතා කරන්නෙ නෑ…?

කථන හා භාෂා ප්‍රමාදය – මේ වගේ පැමිණිල්ලක් අරන් එන්න කලින් දෙමව්පියන් හැටියට මේ දේවල් ඔබ කරනවද බලන්න? …

මේ ලෝකෙට එන හැම දරුවම එකම විදිහෙ වර්ධනයක් පෙන්නන්නෙ නෑ. ඒක ශාරීරික වෙන්න පුළුවන් මානසික වෙන්න පුළුවන්.

දෙමව්පියන් හැටියට ඔබ දරුවා එක්ක ගතකරන කාලය

“නෝනයි මමයි දෙන්නම වැඩට යනවා. ඉරිදට shopping යනවා අපි බබත් අරන්, එයා කැමති දේවල් කන්න එක්කන් යනවා, children park/ beach යනවා. එයාගෙ වයසෙ වෙන කාටවත් නැති තරම් සෙල්ලම් බඩු බබාට තියනවා. එයාව තනි කරන්නෙම නෑ ගෙදරදි servant/ ආච්චි ඉන්නවා එයා එක්ක. ගොඩක් doctors ලා ගාවට එක්කන් ගියා, මුකුත්ම ප්‍රශ්නයක් නෑ කියලා තමා කියන්නෙ, tests සේරම කරලා තියනවා, ඒත් කතා කරන්නෙ නෑනෙ. අම්මා, තාත්තා නම් කියන්නෙම නෑ”.

මොන තරම් දොස්තරලා ළඟට ගියත් දෙමව්පියන් හැටියට තමන්ගෙ දරුවත් එක්ක ගත කරන්න ඔබට ප්‍රමාණවත් කාලයක් නැත්නම් ඒ දරුවගෙන්, නිසි වයසෙදි අම්මා, තාත්තා කියන සරල වචන දෙක වත් බලාපොරොත්තු වෙන්න එපා. හොඳම බෙහෙත් හැමදාම තිබ්බෙ දෙමාපිය ඇසුරෙ.

Doctor කෙනෙක් කිසියම් diagnosis එකක් එහෙමත් නැත්නම් කිසියම් රෝගය නිශ්චයක් හෝ සින්ඩ්‍රෝම තත්වයක් දීලා නැත්නම් මුලින්ම දරුවාගෙ කණ් ඇසීම , ඇස් පෙනීම පරීක්ෂා කරවගන්න. මෙහෙම කිව්වට ගොඩක් දෙමව්පියො ඒ දේවල් වලට කැමති නෑ. Test කරගන්න කිව්වත්, ඒ වෙලාවට අම්මලා කියන දේවල්; “මෙයාට phone එක එහෙම ring වෙන එක හොඳට ඇහෙනවා. TV බලනවා. මම කතා කරොත් බලනවා”. ඒ සේරම ඇත්ත වෙන්න පුළුවන්. ඒත් දරුවාට ඇසීමේ දෝෂ තිබිය හැකියි

ඇයි අපි කතාව ප්‍රමාද දරුවෙක්ට ඇසීම
Check කරගන්න කියන්නෙ;

වචන ඉගෙන ගන්න ඇසීම වැදගත්. උච්චාරණ විදිය දැනගන්න ඇසීම වැදගත්. ශබ්ද වල වෙනස, කථන ශබ්ද වෙනත් ශබ්ද එක්ක වෙන් කරලා අඳුනගන්න සහ ශබ්දය එන දිශාව හඳුනාගන්න එකත් සාර්ථක සන්නිවේදනයකට වැදගත්. මේ දේවල් වලට දරුවාගෙ ප්‍රතිචාරය දැනගන්න හොඳම විදිහ ශ්‍රවණ පරීක්ෂාව (Hearing Test). උගුර, කණ, නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ (ENT Surgeon) උපදෙස් මත මේක කරන්න පුළුවන් . මේ tests වලදි දරුවට රිදෙන දෙයක් සිද්ධවෙන්නෙ නෑ (මගෙන් ඒ ගැනත් ප්‍රශ්න අහලා තියන හින්දයි ඒකත් කිව්වෙ).

ඇයි එතකොට පෙනීම (vision) test කරන්නෙ?

දරුවාගෙ දුර හෝ ළඟ පෙනීමේ හැකියාව, දරුවා වටා තියන භාණ්ඩ හා පුද්ගලයන් වෙන් වෙන්කොට හඳුනගන්න ඉතා වැදගත්. ඒවායේ වර්ණ පැහැදිළිව හඳුනාගැනීම දරුවන්ගෙ සන්නිවේදනය පොහොසත් කරනවා. දරුවාගෙ ශබ්ද කෝෂය වැඩි කරනවා.

දරුවෙක්ට අවුරුදු 4ක් වන තෙක් මව් භාෂාව හැර වෙනත් භාෂාවන් ‘පුහුණු’ කරන්න යන්න එපා. මම ‘පුහුණු’ කියලා විශේෂයෙන්ම කිව්වෙ, දෙමව්පියො සමහර වෙලාවට මව් භාෂාව නොවන භාෂාවක් දරුවට ‘උගන්නනවා’. ලංකාවෙ නම් ඉංග්‍රීසි. දරුවෙක් ගෙ මූලික භාෂා වර්ධනය වෙන මුල් වසර 4 හරිම critical. මම මේ කතා කරන ‘කථන ප්‍රමාදය’ තියන දරුවෙක් එක්ක නම් මේ දේ කොහොමත් කරන්න යන්න එපා. වැඩි හොඳට කියලා සමහර දෙමව්පියො මේ වයසෙ දරුවන්ට ඉලක්කම්, හැඩතල එහෙමත් උගන්නනවා . වැඩි දේවල් කරන්න යන්න එපා. දරුවා මුලින්ම තමන්ගෙ මූලික අවශ්‍යතාවත් හරියට සන්නිවේදනය කරන්න ඕනෙ. මේ ඉලක්කම්, හැඩතල කියන්නෙ ‘සංකල්ප – concepts’. අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව ඒක දරුවෙක්ට නිසි වයසකදි විශේෂ ක්‍රම එක්ක උගන්වන්න ඕනෙ ඒවා

දරුවාගේ සන්නිවේදන මාර්ග අහුරන්න එපා. දරුවටත් එයාගෙ අවශ්‍යතා ඉදිරිපත් කරන්න chance දෙන්න. (මම නැවත නැවතත් කියනවා, මම මේ කතා කරන්නෙ කථන හා භාෂා ප්‍රමාද තියන දරුවො ගැන).

සරලවම කිව්වොත් දරුවට හැමදේම අතට පයට කරලා දෙන්න යන්න එපා. දරුවගෙ අවශ්‍යතා නිතර නිතර දරුවගෙන් අහන්න.

Time table හදාගෙන දරුවා ඉල්ලන්නත් කලින් කන්න බොන්න දෙන එක, දරුවගෙ කැමැත්ත නිකමටවත් අහන්නැතුව ඇඳුම් පැලඳුම් අන්දන එක කරන්න යන්න එපා. මේ දේවල් මෙහෙම කරනවා නම් දරුවා නිසි වයසෙදි වචන කියයි කියන දේ බලාපොරොත්තු වෙන්නත් එපා.

උදාහරණෙකින්ම කිව්වොත්; වෙන රටක භාෂාවක් ඉගෙන ගන්න කියලා අපිව ඒ රටට ගෙනිහින් දාලා සියලු සැප පහසුකම් සහිතව එක තැනක තියලා තියනවා. වැඩක් වෙනවද? අපි අපේ වැඩ ඒ රටේ දි කරගන්න උත්සහ කරොත් නේද අපිට ඒ රටේ වචනයක් හරි ඉගෙන ගන්න පුළුවන්. හැමදේම automatically වෙනකොට සන්නිවේදනයක අවශ්‍යතාවයක් එන්නැති උනාම දරුවාට ඒක මග ඇරෙනවා කොහොමත්.

සන්නිවේදන මාර්ග හදන්නෙ කොහොමද?

කෑම වෙලාවට දරුවට ඕන දෙයක් කරන්න ඇරලා පස්සෙන් පන්න පන්න කවන්න හදන්න එපා. දරුවගෙ උසට, ප්‍රමාණයට ගැළපෙන මේසෙකට පුටුවකට දරුවාව හුරු කරන්න. ඔබේ පිඟානෙ බත් ව්‍යංජන දරුවට පේන්න අනන්න, බත් ගුලි හෝ අනාගත් ස්වල්පයක් දරුවාට වෙනම පිඟානට දාලා දෙන්න. හැන්දකින් හෝ අතින් බත් ගුලි අරන් කන්න හුරු කරවන්න. පාන් රොටී වගේ දෙයක් නම්, දරුවා කන ප්‍රමාණයම පිඟානකට දාලා පැත්තකට කරන්න එපා. දරුවා කන ප්‍රමාණයෙන් ටිකක් පිඟානට දාලා දෙන්න මුලින්. ඒ ටික ඉවර වෙනකොට දරුවගෙන් නිතර අහන්න ‘තව ඕනෙ ද?’

කෑම වෙලාවට විතරක්ම ආවේණික වචන මාලාවක් වචන දෙකක/ තුනක සරල වාක්‍ය භාවිත කරන්න. (බත්, මාලු, පරිප්පු, වතුර, පිඟාන, කෝප්පෙ, රසයි, ඕනෙ…). අපි සරල වාක්‍ය කතා කරනවනම් දරුවට ඒ වචන වල තේරුම පැහැදිලි වෙනවා. අවස්ථානුකූලව දරුවත් පස්සෙ ඒවා පාවිච්චි කරන්න පුරුදු වෙනවා.

ඇඳුම් අන්දන වෙලාවට, සපත්තු දාන වෙලාවට, tea-time එකට දරුවට දෙන දේවල් වලට දරුවා දරුවගෙ කැමැත්ත මොන වගේද කියලා බලන්න. T shirt දෙකක් අරන් දරුවට පෙන්නලා අහන්න ‘ඔයාට ඕනෙ මොකද්ද?’ අපි මේකට කියන choice making කියලා. සුළු කෑම ජාතිත් මේ වගේ. හැබැයි දරුවා ඒ පෙන්වන දේවල් දෙකෙන් එකයි තෝරගන්න ඕනෙ. නිතර නිතර මේ දේ කරොත් දරුවා ඉබේටම හුරු වෙනවා අතින් පෙන්නලා හරි තමන්ගෙ කැමැත්ත සන්නිවේදනය කරන්න.

නාවන වෙලාවටත් මම කලින් කෑම වෙලාවෙදි කරන්න කිව්වා වගේ, ඒ අවස්ථාවට අදාලම වචන විතරක් කතා කරන්න. (සබන්, වතුර, බේසම, බාල්දිය, ටැප්, තුවාය) ශරීර අවයව පිළිබඳ අවබෝධය දෙන්නත් හොඳම මේ වෙලාව.

දරුවාගේ කථන හැකියාව අඩු බවක් තියනවා නම් නිසි වයසෙදි දරුවාව අනිවාර්යෙන්ම පෙර පාසලකට දාන්න. සමවයසේ දරුවන් එක්ක ගැවසීම මොන දරුවටත් ඉතාම වැදගත්.

දරුවගෙ ඇසට ඇස යොමු කිරීමේ හැකියාව, අවධානය දීම (නමට අවධානය දීම මූලිකම දෙයක්) පිළිබඳවත් අවධානය අවශ්‍යයි. දරුවාට ඔහුගේ/ඇයගේ නමින් කතා කිරීම අවධානය ගන්න පුළුවන් සරලම විදිහ සහ හොඳම විදිහයි.

පෙනීම, ඇසීම, අවධානය, කාලය, සහ ඇසට ඇස යොමු කිරීමේ හැකියාව කියන මේ දේවල් (තව තියනවා ) පූර්වාවශ්‍යතා (Prerequisites). මේ හැමදේම ශක්තිමත් ගොඩනැගිල්ලක පාදම (Foundation) වගේ. Building එකේ design එක මොකක් උනත් Foundation එකේ තියෙන්නෙ කලු ගල්, වැලි සිමෙන්ති එක්ක වතුරනෙ. Foundation වලට වෙන කැටයම් දාන්නෙ නෑනෙ. ශක්තිමත් පාදමක් ඕනෙනම් අපිට මේ දේවල් නියම අනුපාන වලින් අවශ්‍ය වෙනවා. දරුවාගෙ මූලික වසර කිහිපය තුළත් මෙය විෂේශයි. මේ දේවල් නිසි ආකාරයෙන් නැත්නම්, කථන හා භාෂා හැකියාවක් දරුවෙක් තුළ ඇති කරන්න අමාරුයි. මම ඉහළින් කියලා තියන ක්‍රියාකාරකම් අමාරු දේවල් නෙවෙයි, හැබැයි දෙමව්පියො ලොකුවට හිතන්නෑ.

නිතරම මතක තියාගන්න, වචන කතා කරන්න කලින් ඒ ගැන අවබෝධය දරුවාට ලබා දිය යුතුයි. උදාහරණයක් හැටියට, දරුවා බත් දැකලා නැත්නම් බත් කියන වචනෙ විතරක් දරුවට කියන්න උගන්වන එක අමාරුයි. හැබැයි දරුවට බත් පෙන්නලා, කන්න දීලා, ඒකෙ සුවඳ දැනෙන්න දීලා, බත් ඇට අල්ලලා බලන්න දීලා ඒ තමා බත් කියලා දරුවට කියලා දෙන්න පුළුවන් නම් ඒ වචනෙ දරුවගෙ මොළේ හොඳින් තැන්පත් වෙනවා.

මම මේ දේවල් කියන්න හිතුවෙ බහුතරයක් අපි ළඟට එන දෙමව්පියන්ට අපිට කියන්න වෙන්නෙ මෙන්න මේ prerequisites හදාගන්න විදිහ.

සමහර අය කියලා දුන්නම හරියට ඒ දේවල් දරුවා එක්ක කරනව.

සමහර ආය පළවෙනි session එකෙන් පස්සෙ දකින්නවත් නෑ . ඒ “අපෝ ඔය ටික අහගන්න ද ඔතනට ගියෙ , ළමයා වචන කියන්නෑ කිව්වම වෙන වෙන ඒවා කියනවා” කියලා හිතන දෙමව්පියො.

හැබැයි අපිට හැම දෙමාපියෙක්ගෙම දරුවව වැදගත්, ඒ දරුවව සමාජයේ ස්වාධීන පුද්ගලයෙක් කිරීම වැදගත් . සමාජය කිව්වම ලොකුවට හිතන්න එපා. දරුවා ජීවත් වෙන ගෙදර, පෙර පාසල් යනවනම් එතන තමයි එයාගෙ සමාජය.

කථන හැකියාවක් දරුවෙක්ට දෙන එක ලේසි නෑ. ඒකට දෙමව්පියන් ගෙ සහාය ඉතා වැදගත්. අපිට මැජික් බෑ .

දරුවන්ට ආදරෙන්

-තිලිණි වැලිකළ-
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම