අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග නෑ – GMOA

 

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පසුගිය සතිය අවසන් වන විට අත්‍යවශ්‍ය ඖෂධ 91 ක තොග අවසන්වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සඳහා ලබා දෙන ඖෂධ, ස්වසන පද්ධතියේ ආබාධ සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම පිලිකා නාශක ඖෂධද මෙලෙස තොග අවසන් වී ඇති බව එම සංගමය ප්‍රකාශ කරයි.

මධ්‍යම ඖෂධ ගබඩාව තුළ පවත්වා ගත යුතු ප්‍රශස්ත ඖෂධ තොග නොපැවතිමද ඉදිරි කාලය සඳහා අනතුරුදායක තත්ත්වයක් මතු කරන බවත් ඇතැම් ඖෂධ තොග ඉදිරි සති දෙකක කාලය සඳහා හෝ ප්‍රමාණවත් නොවන බව තහවුරු වී ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වයි.

සිදු කළ අධ්‍යයනයන්ට අනුව සියලුම ඖෂධ වල මිල ගණන් මාස 3 කට පෙර පැවති මිලට සාපේක්ෂව 100% සිට 300% දක්වා වු පරාසය තුළ මිල ඉහළ ගොස් ඇති බවත් ඖෂධ හිඟය හරහා බරපතළ තත්ත්වයකට මුහුණ දී සිටින රෝගීන් මේ හේතුවෙන් පත්ව ඇති අසරණ තත්ත්වය දිවයින පුරා රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රකාශ තුලින් තහවුරු වෙන බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

 

Social Sharing
නවතම පුවත්