මාස හයට ලංවිම පාඩුව කෝටි 7748ක් !

විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 124,377ක් වුවත්, එම කාලය තුළ ඊට වඩා 57.5%ක වැය බරක් දරා තිබෙනවා.

මේ ආකාරයෙන් ගිණුම් වාර්තා වල දැකිය හැක්කේ ආයතනයක ගිණුම්කරණ අලාභයයි. ගිණුම්කරණ අලාභය ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අනුගමනය කරනවා. එහෙත්, බොහෝ විට ගිණුම් වාර්තා වලින් ආර්ථික අලාභය හෙවත් සැබෑ අලාභය පිළිබිඹු වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස ලංවිම ගිණුම් සකස් කරද්දී ලංවිම විසින් මිල දී ගන්නා අලුත් වාහනයක වටිනාකම වසර හතක කාලයක් තුළ අනුක්‍රමික ලෙස ක්ෂය වී යන සේ උපකල්පනය කරනවා. මේ අනුව රුපියල් මිලියන 28කට මිල දී ගන්නා වාහනයක වටිනාකම වසරකට රුපියල් මිලියන 4 බැගින් අඩු වී ගොස් වසර හතකට පසු ශුන්‍ය වී යනවා. ඒ අනුව, දෙවසරකට පෙර රුපියල් මිලියන 28කට මිල දී ගත් ඩබල් කැබ් රථයක දැන් මිල රුපියල් මිලියන 20ක් පමණයි. එහෙත් අද එහි වටිනාකම ඊට වඩා වැඩි වී තිබිය හැකියි. ඒ අනුව, අද මෙම ඩබල් කැබ් රථය රුපියල් මිලියන 25කට විකිණුවොත්, එහි වෙළඳපොළ මිල රුපියල් මිලියන 30ක් වුවත්, එය සටහන් වන්නේ ලංවිම ලැබූ රුපියල් මිලියන 5ක ලාබයක් ලෙසයි.

ආර්ථික ලාබ ගණනය කිරීමේදී ගිණුම්කරණ සම්මත අත හැර ආවස්ථික පිරිවැය සංකල්පය යොදා ගන්නවා. ඇතැම් විට ආවස්ථික පිරිවැය පිළිබිඹු වන පරිදි ගිණුම්කරණ සම්මතද වෙනස් වුවත් එය සිදු වන්නේ කාලයක් ගියාට පසුවයි.

මේ වසරේ ජූනි 30 වන විට ලංවිම සතු වූ වත්කම් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 1040.4ක්. එයින් රුපියල් බිලියන 852.9ක්ම ලංවීමට අයිති ජනන යන්ත්‍ර, සම්ප්‍රේෂණ උපකරණ හා අනෙකුත් සිවිල් ඉදි කිරීම් ආදියයි. මේ ඇස්තමේන්තුව සකස් කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මතයි. වෙළඳපොළ වටිනාකම අනුව බැලුවොත් මෙම වත්කම් වල වටිනාකම මීටත් වඩා වැඩි විය හැකියි. මම එය කරන්න යන්නේ නැහැ.

ලංවිම අයිතිය තිබෙන්නේ රජයටයි. ඒ අනුව, මෙයින් අදහස් වන්නේ ක්ෂය වීමේ පදනම මත බැලුවත්, රුපියල් බිලියන 1040.4ක මහජන ධනය ලංවිම තුළ ආයෝජනය කර ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකා රජය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගන්නේ 30%ක පමණ පොලියකටයි. ඒ කියන්නේ මාස 6ක කාලයක් රුපියල් බිලියන 1040.4ක් හිර කර තැබීමේ ආවස්ථික පිරිවැය රුපියල් බිලියන 156ක් පමණ වන බවයි. නමුත්, ගිණුම් වාර්තා අනුව අදාළ කාලය තුළ ලංවිම මූල්‍ය පිරිවැය රුපියල් බිලියන 10.7ක් පමණයි. ඒ අනුව, ඉතිරි රුපියල් බිලියන 145ක මුදල එකතු කළ වහාම බිලියන 77ක පාඩුව බිලියන 222ක් වෙනවා.

යම් හෙයකින් ලංකාවේ විදුලි බලය සැපැයීමේ ව්‍යාපාරය පෞද්ගලික අංශය විසින් කළේනම්, ඔවුන් ලාබ නොලබා එය කරන්නේ නැහැ. එසේ වූවානම් රජයට සැලකිය යුතු බදු ආදායමක් හිමි වෙනවා. මේ ව්‍යාපාරය රජය විසින් කිරීම නිසා එම බදු ආදායම මුළුමනින්ම අහිමි වී ගොස් තිබෙනවා. එයද ආවස්ථික පිරිවැයක්. ඉහත රුපියල් බිලියන 156ට අමතරව ලංවිම පාඩුවට එකතු විය යුතු මුදලක්.

මීට අමතරව ලංකාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයක් තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් තිබෙනවා. එවැනි ආයතන වල වියදම් වලින් සැලකිය යුතු කොටසක් යන්නේ විදුලිබල පාරිභෝගිකයින් වෙනුවෙන්. එම පිරිවැයද ආවරණය විය යුත්තේ විදුලිබලය විකුණා ලැබෙන මුදලිනුයි. එසේ නැත්නම් ඒ වෙනුවෙන් වෙනත් අයෙකුට ගෙවන්න වෙනවා.

කාලයක සිටම ලංවිම පාඩු ලබනවා. අවසන් වරට ලාබ ලබා තිබෙන්නේ 2015දී. එහෙත් එම ලාබ වුවද ගිණුම්කරණ ලාබ මිසක් සැබෑ ආර්ථික ලාබ නෙමෙයි.

වැඩියෙන් ජල විදුලිය නිපදවන වසර වලදී ලංවිම පාඩු අඩු වෙනවා. ඇතැම් විට ලාබ ලබනවා. එහෙත්, මෙය රැවටිල්ලක් පමණයි. විදුලිය නිපදවීම සඳහා ලංවිම විසින් භාවිතා කරන ජලය වෙනුවෙන් ලංවිම මුදල් ගෙවන්නේ නැහැ. එහෙත්, එම ජලය රඳවා තබා ගන්නා ජලාශ නඩත්තුව සඳහා සැලකිය යුතු මුදලක් වැය වෙනවා. එහි පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ජල විදුලිය නිපදවීමේ වියදමේම කොටසක් වුවත් එම වියදම් වැටෙන්නේ වෙනත් වැය ශීර්ෂයකටයි.

ඒ වගේම, මෙම ජලාශ ඉදි කිරීම වෙනුවෙන් යට කළ ප්‍රාග්ධනයක් තිබෙනවා. ඒ වෙනුවෙන් ගත් ණය තවමත් ගෙවා නැහැ. ඒ ණයම බැලුවොත් ගෙවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවන්න ගත් ණය සහ පොලිය තවමත් එලෙසම තිබෙනවා. ජල විදුලිය නිපදවන එක ලංවිම විසින් ගණන් හදා පෙන්වන තරම් ලාබ නැහැ. පිරිවැය අඩුවෙන් පෙනෙන්නේ මුළු වියදමම ලංවිමට බැර වී නැති නිසයි.

ඔය සියල්ල එකතු කළොත් ලංවිම ඇත්ත අලාබය පෙනෙන අලාබයට වඩා ගොඩක් වැඩියි. මේ අලාබය “වින්දිතයින් නැති අපරාධයක්” නෙමෙයි. උද්ධමනය හරහා මේ බර රටේ සියල්ලන් වෙතම අසමානව බෙදී යනවා. මෙහිදී ශුද්ධ පිරිවැයක් දරන රටේ බොහෝ දෙනෙක් වින්දිතයින් වෙනවා. වෙනස ඔවුන් ඒ බව නොදන්නා එකයි. මෙහි වාසිය ලබන්නේ වැඩියෙන් විදුලිබලය පරිභෝජනය කරන අය ඇතුළු ටික දෙනෙක්.

-ඉකොනොමැට්ටා-

Social Sharing
ආර්ථික නවතම