ඉතිහාසය එයාකාරයෙන්ම නැවත සිදු නොවීමට නම්…!

 

-ගාමිණී වියන්ගොඩ-

පාර්ලිමේන්තුවේ බලයට විරුද්ධව, පවතින විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කිරීමට (18 වැනි සහ 20 වැනි සංශෝධන වශයෙන්) දෙවරක් අත් එසවූ පිරිසක්ම, එම ජනාධිපති ධුරයට එරෙහිව පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමටත් (17 වැනි සහ 19 වැනි වශයෙන්) දෙවරක් අත් ඔසවා ඇත. දැන් 22 වැනි සංශෝධනයකුත් ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මේ වනාහී, එකම කාරණයක් සම්බන්ධයෙන් පස්වැනි වතාවටත් අත් එසැවීමට නියමිත අවස්ථාවකි. පෙර අවස්ථා හතරේදී සහ මේ එළැඹෙන පස්වැනි වතාවේදීත් එකම අත ඉස්සූ සහ අත උස්සන යම් පිරිසක් වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිටිති. ඔවුන්ගේ වෙනත් නුසුදුසුකම් මොහොතකට පැත්තකින් තිබ්බත්, මේ කාරණය සම්බන්ධයෙන් පමණක් සලකා බැලුවත් එවැනි පිරිසක් රටක ජනතාවක් නියෝජනය කිරීමට සුදුස්සන් වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

මේ කියන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මීට මාස දෙකකට පෙර, ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටියදී ගෙන ඒමට එදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබූ 22 වැනි ව්‍යස්ථා සංශෝධනයම නොවන බවත් කියැවේ. මේක, ඒකට වඩා හොඳයිලු. එහෙත්, එදා එකත් මෙදා එකත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙළේ එකම පුද්ගලයා ය. එනම්, විජයදාස රාජපක්ෂයි. එදා ඔහු පෙනී සිට ඇත්තේ, මීට වඩා නරක එකක් වෙනුවෙන් බව එයින් කියැවෙයි.

අනිත් පැත්තෙන්, මීට කලින්, යහපාලන ආණ්ඩුව යටතේ ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පසුබිම් කතාවත් වැදගත් ය: එදා එම කෙටුම්පතේ ඇතුළත්ව තිබූ හෝ යෝජනා වී තිබූ බොහෝ යහපත් අංග, එම කෙටුම්පත පසුව පනතක් වශයෙන් සම්මත කරගැනීමේදී ඉවත් කරගැනුණි. ඊට එක හේතුවක් වුණේ, ඒ සියලු යහපත් අංග ඇතුළත් කරගත්තේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණක් නොව, ඊට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය බව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කියා සිටිනු ඇති බවට පැවති විශ්වාසයයි. එදා (2015) යහපාලන ආණ්ඩුවට ජනමත විචාරණයකට යාම කළ හැකි දෙයක් නොවුණි. ඒ නිසා, අදාළ කෙටුම්පතේ බොහෝ දේවල් කපා කොටා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින් පමණක් සම්මත කරගත හැකි අංග පමණක් එදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරගැනීමට යහපාලන ආණ්ඩුවට සිදු වුණි.
මුලින් යෝජිතව තිබූ 19 වැනි සංශෝධන කෙටුම්පත එදා දියාරු කිරීමට බලපෑ අනික් හේතුව වුණේ, එම (2015 දී) පාර්ලිමේන්තුවේ අතිබහුතරය සමන්විත වුණේ රාජපක්ෂවාදීන්ගෙන් නිසා, ඔවුන්ගේ අනුමැතිය ගැනීම සඳහා යම්තාක් මේ සංශෝධනය දියාරු කිරීම අත්‍යාවශ්‍යව තිබිණැයි යන තර්කයයි. (අධිකරණය කියන පරිදි) ජනමත විචාරණයකට නොයා ගොඩින් මේ කාරණය බේරාගැනීමේ අවශ්‍යතාවත්, රාජපක්ෂවාදී පාර්ලිමේන්තුවකින් තුනෙන් දෙකක අනුමැතියක් ලබාගැනීමේ හැකියාවත් යන කරුණු දෙකටම යටත්ව, යහපාලනය විසින් අවසානයේ ගෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එදා පවා ජනතාව අපේක්ෂා කළ සැබෑ අභිමතය එයාකාරයෙන්ම නිරූපණය කෙරුණු සංශෝධනයක් නොවුණි. උදාහරණයක් වශයෙන් ජනතා අභිමතය වුණේ, විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කිරීමයි. කෙසේ වෙතත්, ඒ අඩුපාඩුකම් තිබියදී පවා, උන්න හැටියට මළා මදිදැයි කීවා සේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු, ඒ දක්වා අප අත්පත් කරගැනීමට සමත් වූ විශාල ජයග්‍රහණයක් වශයෙන් සැලකිය යුතුව ඇති සංශෝධනයකි.

මාස දෙක තුනක් ඇතුළත, 22 වැනි සංශෝධන දෙකක්

මීට මාස දෙකකට පමණ කලින් ගෝඨාභය රාජපක්ෂගේ මඟපෙන්වීම යටතේ විජයදාස රාජපක්ෂ ගෙන ඒමට සැලසුම් කොට තිබූ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ඊට කලින් (2020 දී) ඔවුන් විසින්ම අහෝසි කරන ලද, ඉහතින් කී යහපාලන ආණ්ඩුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමාන යැයි කියැවුණි. එහෙත් එය ඊට වඩා බොහෝ සෙයින් දියාරු එකක් විය. (මේවා ගැන සාමාන්‍ය වැටහීමක් නැති පාඨකයන් සඳහා මෙය තව ටිකක් පැහැදිලි කළ යුතුව තිබේ: රාජපක්ෂවාදී නොවන ආණ්ඩු විසින් ගෙනෙන ලද 17 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන දෙකම, විධායක ජනාධිපති ක්‍රමය දුර්වල කොට පාර්ලිමේන්තුව සහ ස්වාධීන ආයතනික පද්ධති ශක්තිමත් කිරීමටත්, රාජපක්ෂවාදී ආණ්ඩු විසින් ගෙනෙන ලද 18 වැනි සහ 20 වැනි සංශෝධන දෙකම, විධායක ජනාධිපති ධුරය තවත් ශක්තිමත් කරමින්, පාර්ලිමේන්තුව සහ ස්වාධීන ආයතනික පද්ධති දුර්වල කිරීමට ගෙනා සංශෝධන වන බවත් දත යුතුය).

යහපාලන ආණ්ඩුව යටතේ 19 වැනි සංශෝධනය ගෙන ඒමට මූලිකත්වය ගත් දෙන්නාගෙන් කෙනෙකු වන රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති වශයෙන් සිටියදී, නැවතත්, වෙනත් එකතු කිරීම්ද සහිතව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අලුත් 22 වැනි සංශෝධනය, පරණ 19 වැනි සංශෝධනයට වඩා ඉදිරිගාමී එකක්ද, නැත්නම් ඊට වඩා පසුගාමී එකක්ද යන බව තවම පැහැදිලි නැත. විජයදාස රාජපක්ෂ නමැති දේශපාලනඥයා නීතිඥයෙකුද වන බැවින්ද, එකම කාරණයක් සම්බන්ධයෙන් විත්තියට මෙන්ම පැමිණිල්ලටද එක විට පෙනී සිටිය හැකි බව, ඔහුගේ දේශපාලන ජීවිතය පුරා නැවත නැවතත් පෙන්නුම් කොට ඇති පුද්ගලයෙකු වන බැවින්ද, මේ නිරවුල් කරගැනීම, පුරවැසියන් වන අපට අතිශයින්ම වැදගත් වෙයි. එහෙත් ඒ සඳහා, අදාළ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ප්‍රසිද්ධියට පත්වන තෙක් සිටිය යුතුය.

මීට අදාළ තවත් කාරණයක් තිබේ. අද රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහයි. මැයි 9 වැනිදා ගෝල්ෆේස් ප්‍රහාරය තරයේ හෙළාදුටු ඔහු, ඒ විදිහට රාජපක්ෂ ආණ්ඩුව අරගලය මර්දනය කිරීමට කටයුතු කළොත්, (ඒ වන විට ආණ්ඩුව සමග ඔහු සහයෝගීතා සාකච්ඡා ආරම්භ කොට සිටි තත්වය තුළ) තවදුරටත් ආණ්ඩුවට සහාය වීමේ තම අදහස ඉවත් කරගන්නා බවට විශේෂ ප්‍රකාශයක් කෙළේය. ඊට දින කිහිපයකට පසු, ඔහු අගමැති විය. ඊළඟට, වැඩබලන ජනාධිපති විය. අවසානයේ, පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරගත් ජනාධිපති විය. එකී සිදුවීම් මාලාවෙන් පසු, අද ඔහු එම අරගලය දැඩි හස්තයකින් මර්දනය කළ යුතු බව, විටෙක ව්‍යංගයෙනුත් විටෙක සෘජුවමත් කියා සිටිනවා පමණක් නොව, ආණ්ඩුව කෙරෙහි නැඟී එන ජනතා අප්‍රසාදය බියගන්වනු වස්, සාමකාමී අරගලකරුවන් පවා අත්අඩංගුවට ගැනීමටත්, පොදුවේ සෑම අරගල මාදිලියක්ම ‘ෆැසිස්ට්වාදයක්’ වශයෙන් අර්ථ ගැන්වීමටත් පුරුදුව සිටින බවක් පෙනෙන්ට තිබේ.

කතුවරුන් පිළිබඳව ඇති සැකය

මගේ තර්කය මෙයයි: 2015 දී ඉතා ප්‍රගතිශීලි 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් වෙනුවෙන් මුලින් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ, ඉන්පසුව, ඉහතින් කී පිළිගත හැකි හේතු දෙක මත අවසානයේ එහි දියාරු පිටපතක් 19 වැනි සංශෝධනය වශයෙන් සම්මත කරගැනීමට යොමු වූවා සේම, මැයි 9 වැනිදා ගෝඨාභය-මහින්දගේ රාජ්‍ය මර්දනය හෙළාදකිමින් ප්‍රගතිශීලි ප්‍රකාශ නිකුත් කරමින් සිට, අද තමා ජනාධිපති වීමෙන් පසු ඒ අරගලය තමන්ගේ හතුරෙකු බවට සලකා කටයුතු කිරීමට පෙළඹී සිටින්නා සේම, වෙනස් වන තත්වයන් යටතේ, විධායක ජනාධිපති ප්‍රතිපත්තිය සම්බන්ධයෙනුත් ඔහු තුළ ඇති විය හැකි විපර්යාසයන් ගැනත් අප අවදියෙන් සිටිය යුතුය. අනිත් පුද්ගලයා, එනම්, මේ කෙටුම්පත් සකස් කළ විජයදාස රාජපක්ෂ නමැති, විත්තියටත් පැමිණිල්ලටත් එක විට පෙනී සිටිය හැකි පුද්ගලයාගේ දේශපාලනයේ විශ්වසනීයත්වය ගැන එවැනි අටුවාටීකා පවා අවශ්‍ය නොකරන බැවින් අපේ කාලය ඒ සඳහා මිඩංගු කළ යුතු නැත. කෙසේ වෙතත්, මේ සියලු කාරණා නිසා කෙනෙකු තුළ පැනනඟින සාධාරණ සැකය නිසාම, මොවුන්ගේ අධීක්ෂණය යටතේ ගෙන ඒමට නියමිත ඔය කියන වර්තමාන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මොන වගේ එකක් විය හැකිදැයි රටවැසියා බලවත් සැකයක් ඇති කරගැනීම සාධාරණයි.

එසේ කීමට සිදුව ඇත්තේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිදු වූ දේ අප දන්නා නිසා ය. ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි සැණින් කළ ප්‍රධාන කර්තව්‍යය වුණේ, එකී 19 ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීමයි. ඉතිං, මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතැයි කියන 22 වැනි සංශෝධනයටත් එම ආනිශංසයම අනාගතයේ දවසක සිදුවිය නොහැකි බවට විශ්වාසයක් සමාජයට තිබිය යුතුය. ඉතිහාසයේ වරක් සිදු වූ වරදක් නැවත සිදුවුණොත්, එය ඛේදයකි.

රනිල් වික්‍රමසිංහ සේම අරගලකරුවන්ද එක විට පිළිගත යුතු යථාර්ථයන් දෙකක් තිබේ. වර්තමාන පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධුරය ව්‍යවස්ථානුකූල වෙතත්, නීත්‍යානුකූල වෙතත්, ජනතා අභිමතය ඉදිරියේ සැබෑ සුජාතභාවයක් ඒවාට හිමි නොවන බව ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවමත්, සමස්ත පාර්ලිමේන්තුවමත් පිළිගත යුතුය. එසේම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ජනතා අභිමතය/නියෝජනත්වය නෛතිකව කුළුගැන්වෙන ආයතනය පාර්ලිමේන්තුව වන තත්වයක් තුළ, පාරේ අරගලවලින් ආණ්ඩු පෙරළීමට යා හැකි උපරිම දුරක් ඇති බව අරගලකාරීන් විසිනුත් පිළිගත යුතුය. උදාහරණයක් වශයෙන්, එක පුද්ගලයෙකු (ගෝඨාභය රාජපක්ෂ) බලහත්කාරයෙන් පන්නා දැමීමට පාරේ අරගලයකට හැකි වෙතත්, ඒ ආකාරයෙන්ම 225 දෙනෙකුත් බලහත්කාරයෙන් පන්නා දැමීමක් පාරේ අරගලයකින් කළ හැකි වීමේ ඉඩ ප්‍රස්ථා අවම බවත්, තිබුණත් ඒ තත්වයට හදිසියේ යා යුතු නැති බවත් ඔවුන් වටහාගත යුතුය. සියල්ලට ඉහළින් පවතින ජනතා පරමාධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවා, බෙදා වෙන්කොට ඇත්තේ (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ආදී වශයෙන්) නිකම්ම නොවේ. “ජනතාව” යන සංස්ථිතිය එක සරල කෝවක් තුළ බහාලිය හැකි සමූහයක් නොවන නිසා ය. ඒ ආකාරයටම, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව හෝ පාර්ලිමේන්තුවට අභියෝග කරමින් මහපාරේ රොක්වන ජනතාවත්, එසේ එක කෝවක් තුළ බහාලිය හැකි සරල ජන රාශියක් නොවේ. එවැනි නැඟිටීම්, අවශ්‍ය තන්හිදී ස්වයං-පාලනයකට යටත් කර නොගත්තොත් සහ අවශ්‍ය මාත්‍රාවෙන් පරිහරණය නොකළොත් සිදුවිය හැකි විනාශයන් ලෝක ඉතිහාසය තුළ අනන්තවත් අප අත්දැක තිබේ.

මේ නිසා, පාර්ශ්ව දෙකක සුජාත භාවය අප ඉල්ලා සිටිය යුතුය. එක පාර්ශ්වයක් වන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවයි. අනෙක් පාර්ශ්වය වන්නේ ජනතාවයි. රනිල් වික්‍රමසිංහ මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම (ඒ ගැන මේ ලියුම්කරු අනන්තවත් ලියා තිබේ). එසේ තිබියදී, විකෘති පාර්ලිමේන්තුවක් විසින් ජනාධිපතිවරයා වශයෙන් ඔහුව පත්කර ගැනීම ආදී සුජාත/අවජාත භාවයට අදාළ කරුණු මේ මොහොතේ විරෝධතාකරුවන් විසින් පාවිච්චි කළ යුත්තේ, හෙටම මේ ආණ්ඩුවත් පෙරලා දමා අනිද්දා පැවැත්වෙන මැතිවරණයකින් තමන් විශ්වාස කරන පිළකට බලය පවරා දීමේ එල්ලය සහ තදියම හිතේ දරාගෙන නොව, සැබෑ මර්දනයක් කැඳවා ගැනීමකින් තොරව, ආසන්නතම දිනයකදී ඊළඟ ව්‍යවස්ථානුකූල මැතිවරණයක් ලබාගත හැක්කේ කෙසේද යන කාරණය හිසේ දරාගෙන ය.

දෘඪ මර්දනය සුළුපටු නැත

මර්දනය යන වචනය අද ඉතා ලිහිල් ආකාරයකින් පාවිච්චි වෙතත්, සැබෑ මර්දනය ඇත්තෙන්ම මොන වාගේ එකක් විය හැකිදැයි ප්‍රත්‍යක්ෂමූලිකව දන්නා පිරිස්, වර්තමානයේ මර්දනය ගැන වැඩියෙන් කතා කරන පිරිස් අතර සිටින්නේ අල්පයක් ය යන්න අපගේ නිරීක්ෂණයයි. රාජ්‍යය යනුම මර්දන යන්ත්‍රයකි. ඒ සත්‍යය, ධනපතියන් අතේ රාජ්‍යය තිබියදීත්, මාක්ස්වාදීන් අතේ රාජ්‍යය තිබියදීත්, ඕනෑවටත් වඩා ඉතිහාසයේ පෙන්නුම් කොට ඇති කාරණයකි. ඒ නිසා, මර්දනය ගැන කතා කරන විට මාත්‍රාව සහ සන්දර්භයන් ගැනත් අමතක කළ යුතු නැත. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම මෙන්ම පසුගිය දා (8) ඔහුට ඇපදීම යන ක්‍රියාවන් දෙකම, මර්දනයේ ‘විචිත්‍ර’ ස්වරූපයන් ය. තවත් විදිහකින් කිවහොත්, පාලකයාගේ බලය පිළිබඳ ප්‍රදර්ශනකාමීත්වයත්, පාලිතයාගේ හිත් තුළ අවදානම පිළිබඳ බිය මුසු අඩමානය ජනිත කිරීමත් යන කාරණා දෙකම එක විට මුදුන්පත් කරගැනීමට බලන අවස්ථාවකි. අනිත් අතට, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, මර්දනයේ අනිත් අන්තය නිරූපණය කළ යුගයකි.
වර්තමාන විරෝධතාකරුවන්ගේ පැත්තෙන් (අරගලකරුවන් යන වචනය මා පාවිච්චි නොකරන්නේ, ඕනෑකමින්මයි. අරගලකරුවන් තුළ තිබූ විශිෂ්ටත්වය සහ පොදු බව, අද විරෝධතාකරුවන් තුළ දියවී යමින් තිබෙන බවක් හැඟෙන නිසා එසේ කරමි) එවැනි සිතාබැලීම් අවශ්‍ය කරන අතරේම, ව්‍යවස්ථානුකූලත්වය හැරුණු කොට සමාජ සුජාත භාවයකට ඈතින්වත් හිමිකම් නොකියන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන (පොහොට්ටු) ආණ්ඩුව පැත්තෙන් වහා ඉටු විය යුතු වගකීම් සමුදායකුත් තිබේ. ඒ ගැන ගැඹුරින් සිතා බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ අමතක නොකළ යුතු කාරණය මෙයයි: එනම්, තමා තනි කකුලකින් සිටගෙන සිටින පාලකයෙකු බවයි. ව්‍යවස්ථානුකූලත්වය සහ මහජන අනුමැතිය යන අත්‍යාවශ්‍ය සුදුසුකම් දෙකෙන් ඔහුට ඇත්තේ, එක සුදුසුකමක් පමණි. එවැනි පුද්ගලයන්ට අත්වාරුවක් අවශ්‍ය කෙරේ. මේ අත්වාරුව, තමාගේ ව්‍යවස්ථානුකූල කාල පරිච්ඡේදය තුළ ඔහු සපයාගත යුත්තේ, ජුලි 9 වැනිදා මේ රටේ ඓතිහාසික විපර්යාසයක් ඇති කළ ජනතාවගේ අභිලාෂයට ගරු කරන සහ හිමිකම් කිව හැකි ආකාරයකිනි. ඒ සඳහා හදිසි නීති අවශ්‍ය නොකෙරේ. අවශ්‍ය කරන්නේ, ජුලි 9 වැනිදා මතු වූ ජනතා අභිලාෂ කෙරෙහි සෑම අතකින්ම තමන් සංවේදී වන බවට විශ්වාසයක් සමාජ විඥානය තුළ ජනිත කරවීමයි.
එහිදී, විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසි කරදැමීම සඳහා නායකත්වය සැපයීමත්, ව්‍යවස්ථානුකූලව ලැබෙන ආසන්නතම අවස්ථාවේදී වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමත්, ප්‍රධානයි. ආර්ථිකය පිළිසකර කිරීම, අමුතුවෙන් ඉල්ලා සිටිය යුතු දෙයක් යැයි නොසිතමි.

(ප.ලි: පසුගිය සතියේ මේ කොලමේ සඳහන් එක කරුණක් නිවැරදි කළ යුතුව තිබේ. එදා, පාර්ලිමේන්තුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විපක්ෂය විසින් හූ කීම නිසා ටික වේලාවකට පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් නැවත පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගත් බව මා ලියා ඇත. එහෙත්, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් පසුව මට කතා කොට පෙන්වා දී ඇති පරිදි, එකී හූ කීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පැමිණ එහි අසුන් ගෙන නැත.)

Social Sharing
නවතම විශේෂාංග