මේක එතරම්ම අහිංසක නෑ අහිංසා..!!

-කේ. සංජීව-

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂව හමුවීම සහ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල කතා අවකාශයක් නිර්මාණය කරලා.

මටනම් හිතෙන්නේ මේ ඡායාරූප අහිංසා තරම් අහිංසක නෑ කියලා. අහිංසාට මේ හමුව සහ ඡායාරූප නිසා ගහන ගල්වලට මම විරුද්ධයි. ඒ වගේම අහිංසාගේ මේ පෙනී සිටීම හෝ පෙනී සිටුවීමත් එතරම් අහිංසක නෑ කියන්නත් මම පැකිලෙන්නේ නෑ.

මම මේ ඡායාරූපය අහිංසක නෑ කියලා කියන්නේ මෙන්න මේ අර්ථයෙන්. පහුගිය කාලේ ලංකා සමාජයේ ඇතිවුණ අරගලයේ මූලිකම අදහස නැත්තං කේන්ද්‍රය වුණේ රාජපක්ෂ දේශපාලනය ඉවර කළ යුතුයි කියන දේ. එහෙම නැත්තං රාජපක්ෂවාදය හමාර කළ යුතුයි කියන දේ. ගෝඨාභය රාජපක්ෂ රටින් පන්නලා දැම්මාට අපිට අපේ මේ ටාගට් එකට යන්න බැරිවුණා කියන ප්‍රබල සංඥාව තමයි මේ ඡායාරූපය අපිට දෙන්නේ.

හැබැයි ඉතාමත්ම වැදගත් හැඟවුම ඒක නෙවෙයි. වැදගත්ම හැඟවුම තමයි මේ ඡායාරූපය හරහා රාජපක්ෂවරුන් අපිට කියන දේ. ඔවුන් මේ ඡායාරූපය අපිට පෙන්වලා කියනවා අපි තවම ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි, උබලා අරගල කළාට අපේ එකෙක් රටින් පන්නලා දැම්මට අපේ සොහොන් කැඩුවට අපි වටේ මිනිස්සු තවමත් ඉන්නවා කියලා රාජපක්ෂවරු මේ ඡායාරූපය හරහා අපිට කියනවා.

මේ අරගලයේ ප්‍රබලම නියෝජනය තිබුණේ අහිංසාගේ පරපුරේ තරුණයන් අතේ. ඒ පරම්පරාව පාරේ අරගල කළාට හදවතින් තවමත් ඉන්නේ රාජපක්ෂවරු ළඟද? ඒ හදවත් තවමත් නාමල් ලා වෙනුවෙන් වැඳවැටෙනවාද? ඒ ප්‍රශ්නයත් මේ ඡායාරූපය දැක්කාම කියෝගන්න අමාරු නෑ..!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන්න තීරණය කරනකොට ඒක නාමල් නොදැන සිටියා වෙන්න බෑ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න තීරණය කළාම ඒක රාජපක්ෂ පවුල නොදැන සිටියා වෙන්නට බෑ. පහුගිය කාලේ ලංකාවේ ආර්ථිකය ඝාතනය කරලා බිලියනපතියෝ වෙනකොට ඒවා පවුල නොදැන කළා වෙන්න බෑ. ඒ නිසා රාජපක්ෂවාදය කියන්නේ නොදැනුවත් තොත්තබබා පන්නයේ මෙහෙයුමක් නෙවෙයි. ඒක දැනුවත් පාලන මාදිලියක්. බල ආධිපත්‍යයක්. ඒකේ නූතනම ප්‍රකාශනය තමයි මේ ඡායාරූපය.

රාජපක්ෂවාදය ඉවර නෑ කියන එක වගේම ඉවර කරන්නත් බෑ කියලා ඒ පවුල විසින් අපිට කියන කතාවත් ඇරුණාම අපි තව සෑහෙන්න දුරක් පීනන්න ඕනී කියලා කියවෙන තෙවන කතාවකුත් මේ ඡායාරූපය ඇතුලේ පේනවා…!!

ඉතිං මේ දරුවා ආරක්ෂා කරන ගමන් මෙවැනි ඡායාරූප හරහා කරන දේශපාලනයත් තේරුන් ගන්න උත්සාහ කරන්න ඕනී..!

Social Sharing
අවකාශය