අනේ! ඈ අතහරින්න…!

මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව.
අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට ඔසවා තැබූ නිසයි. ඈ ගැන වීර කතා, දුක හිතෙන කතා කොච්චර ලියවුනාද මේ බිත්ති උඩ. අනේ! ඈට මොනතරම් සතුටු හිතෙන්න ඇද්ද. මේ අවුරුදු දහ අටේ පුංචි කෙල්ලෙක්. මගේ ලොකු පුතාගෙ වයසෙ.

මට ඇය වටින්නෙ ඈ දිනූ නිසාම නෙවෙයි, දිනුම් කණුව කරා ඈ ආ ගමන නිසයි. “බලන්න ඈ දිහා. ඈ දිරිය දියණියක්” මම මගේ දරුවන්ට කිව්ව. එතැනින් එහාට ඈ වඳින්නේ කාටද අතට අත දෙන්නෙ කාටද සිඹින්නෙ කාවද යන්න මට අදාල නැති ඇගේ පෞද්ගලික කැමැත්තයි.

වැඳීම ලාංකික අපට සමාචාර විධියක් මිස දණින් වැටීමක් නොවෙයි. දහ අට හැවිරිදි ගම් පලාතක පාසැල් දියණියක හැටියට ඇය කොච්චරවත් ගුරුන් දෙගුරුන් නෑසියන් ඉදිරියේ වැඳ වැටී ඇති. ඇයට එය අරුමයක් නොවෙයි. අප එය අරුමයක් කරගත යුත්තේ ඇයි?

ඊයේ ඇයට ආවැඩූ මිනිසුන්ම අද ඇයට ගල් ගසනු දැකීම ඛේදයක්. මෙහෙව් රටකට පදක්කම් අරන් ආවාට වඩා කුඩු ගොඩේම පෙරලෙමින් ගංගොඩේම උන්නා නම් මැනවැයි ඇයට සිතෙනවා ඇති.

අප විශ්වාස කරන දේශපාලනය හෝ අප අදහන ආගම හෝ අප ගරු කරන සම්ප්‍රදායන් හෝ අපි ගෙවන දිවි පැවතුම් වලට පරිබාහිර ඉන් වෙනස් එහෙත් සමාජ විරෝධී හෝ අගතිගාමී නොවන ජීවිතයක්, ඇවැත්මක්, පැවැත්මක් තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක්ද? ගර්හාවට ලක් කිරීමට තරම් පාපයක්ද?

නාමල් රාජපක්ෂ කිඹුල් සමක් ඇති දේශපාලනඥයෙක්. මේ අවලාද වලින් ඔහුට නොරිදෙයි. නමුත් ඇයට? ඇයට මෙය හෘදය වස්තුව පාරන කාරනාවක්. මෙතරම් බැනුම් අහන්න තමා කල වරද කුමක්දැයි ඇයට නිනව්වක් නැතුවා ඇති. අප ඇය, ඇයගේ වැඳීම හාස්‍යටත් අවඥාවටත් පරිභවයටත් ලක් කරන්නේ කාට රිදවන්නද?

ඇඟේ හයිය ඇතුවාට ඇයට ඇත්තේ මොලොක් හදවතක් බව නිසැකයි. ඒ හදවත බරවී ඇතුවා නිසැකයි. ඒ ඈ තවම පුංචි දියණියක් නිසයි, මගෙ ලොකු පුතාගෙ වයසේ.

ඈ උපන්නේ සතුට මිටින් ගෙන නොවෙයි. ඈ අත ඇත්තේ ඈ වෙහෙස වී උපයා ගත් සතුටයි. ඇගේ දාදිය වේලෙන්නටත් කලියෙන් ඒ සතුට ඇගෙන් උදුරා නොගන්න.

මේ ලදල්ල කඩා නොදමන්න.

අනේ! ඈ අතහරින්න.

-අජානා රණගල-

 

 

Social Sharing
අවකාශය