රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින් දිගටම අවධාරණය කරයි. ඒ සඳහා ජනාධිපති වරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඇතැම් පක්ෂ තම අදහස් යෝජනා සාකච්ඡාවට සහභාගි නොවී ලිඛිතව දැනුම් දී ඇත. ඒ ඒ පක්ෂ තම තමන්ගේ යෝජනා අදහස් වැඩපිළිවෙළ හා වගකීම් දැරීමේ අභිලාෂයන් ඉදිරිපත් කර ඇත. ඒ අතර තම දේශපාලන භාවිතාව තුළ දෛනිකව සිදු වන සිදුවීම් සමග විවිධ කොන්දේසි ඉල්ලීම් ද තම දේශපාලන න්‍යාය පත්‍රයන් ද දිගේලි කරමින් ආවේගාත්මක සටන් පාඨ ඉදිරියට ගනිමින් ඇත.
අවම පොදු වැඩපිළිවෙලකට එකඟතාවයක් ඇතිකර ගත හැක්කේ සියලු පක්ෂ අතර තිබෙන පොදු ගුණාකාර යං පිළිබඳ සම්මුතියකට එළැඹීමෙන් ය. සියලු පක්ෂ ඒ සඳහා ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කළ යුතුය .මෙම අසීරු කාර්ය ජය ගැනීම සඳහා විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද වගකීමෙන් අවංකව එයට අවතීර්ණ විය යුතුය. අවම පොදු වැඩපිළිවෙළ එය ක්‍රියාවට නැංවිම ක්‍රියාකාරී සැලැස්ම තීන්දු තීරණ ගැනීමේ සභාව වගකීම් බෙදාහදා ගැනීම හා කාල රාමුව පිළිබඳව සම්මුති බද්ධ එකඟතාවයකට පැමිණිය යුතුය. එමෙන්ම සර්ව පාක්ෂික පාලනයකට අවශ්‍ය ජනතා විශ්වාසය හා සුජාත භාවය ඇතිකර ගැනීමට අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ දේශපාලන සංස්කෘතියේ කළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට ප්‍රමාණවත් තරම් කරුණු සාකච්ඡා කෙරී ඇති අතර ඒ සඳහා තව තවත් කාලය කා නොදැමිය යුතුය. අවම පොදු එකඟතාවයන් ව්‍යවස්ථානුකූල රාමුව තුළ ව්‍යවස්ථාදායකය තුළ සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයෙන් ඇතිකරගත යුතු අතර මැතිවරණයකට යන්නේ නම් ඒ සඳහා වූ දින වකවානු සාකච්ඡා කර මැතිවරණ කොමිසම ද විමසා ඊට අවශ්‍ය වටපිටාව රට තුළ නිර්මාණය කරගත යුතුය.

මහ බැංකුව දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ආර්ථිකය ස්ථාවර කර යළි පණ ගැන්වීම සඳහා දේශපාලන හා සාමාජීය ස්ථාවරභාවයක් ඇති කර දෙන ලෙසයි. ඒ සඳහා අවශ්‍ය කරන නව මූල්‍ය බදු හා නියාමන ප්‍රතිපත්ති සම්පාදනය කර දෙන ලෙසයි. එය ඉටු කර දීමේ වගකීම විධායකය ව්‍යවස්ථාදායකය හා සිවිල් සමාජය සතු වගකීමකි. පුරවැසියන්ගේ ද වගකීමකි. ආර්ථික අර්බුදය නිසා ඉන් බැට කා වීදි බට ජන අරගල කරුවන් ගේ ද වගකීමකි. සාමූහික ප්‍රයත්නයකින් කැපකිරීමකින් තොරව අපට රටට ගොඩ යා නොහැකි අතර එහිදී අර්බුදයේ දිග පළල පරිමාව ගැඹුර තේරුම් ගැනීම ද අවශ්‍ය ය. එහිදී රට හා ආර්ථිකය සන්සුන් කර ගත යුතු අතර අවිනිශ්චිත භාවය තුරන් කර ගැනීම සඳහා රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ විශ්වාසනීයත්වය හා සාපේක්ෂව සුජාතභාවය තහවුරු කරගත යුතුය.
එසේ නොකොට වල තව තව ගැඹුරට හැරීමෙන් අප කිසිවෙකුටත් ගොඩඒමට නොහැකි ලෙස වල ගැඹුරු වනු ඇත. එසේ නොවන ලෙස කටයුතු කරන්නට විධායකය ව්‍යවස්ථාදායකය සිවිල් සමාජය හා පුරවැසියන්ට වගකීමක් ඇත. දේශපාලන සහ සමාජීය ස්ථාවරභාවය ආර්ථිකය යළි පණ ගැන්වීමටත් ස්ථාවර කර ගැනීමටත් ගැනීමටත් මූලික වශයෙන් හේතු පාදක වන නිසා රටේ නීතිය හා පාලනය පවත්වා ගැනීමේ වැදගත්කම පියවි සිහියෙන් තේරුම් ගත යුතු අතර ඒ සඳහා ඇති අනුකූලතාවය ද සැබෑ ලෙසම පෙන්විය යුතුය.
අරාජිකත්වය අස්තාවරභාවය අවිනිශ්චිතභාවය ප්‍රවර්ධනය කරමින් තම දේශපාලන බල ව්‍යාපෘතිය ඉදිරියට ගන්නේ නම් ඒ සෑම දෙයක් තුළම අන්තර් ප්‍රතික්‍රියාවන් ද බලාපොරොත්තු විය යුතුය. ජනමතය හඩ නගන අයගෙන් පමණක් පරීක්ෂාවට ලක් කළ නොහැකි අතර විනිශ්චය කිරීමට ද නොහැකි ය. මැතිවරණයකට ගොස් ජනමතය පරික්ෂා කිරීම ඊට ඇති හොඳම විකල්පය වුවද ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමත් සිහිබුද්ධියෙන් නිවැරදි ජනමතය පිළිබිඹු වන ලෙස වටපිටාව සකස් කර ඒ සඳහා ඇති ව්‍යවස්ථානුකූල මැතිවරණ වපසරිය නිර්මාණය කළ යුතුය. ඊට පෙර ඇතිකරගත යුතු මූලික එකඟතාවයන් හා සම්මුතීන් ගණනාවක් අද රට ඉදිරියේ ඇත එනම්.

01. විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන එය බලාත්මක කිරීම. එකඟතාවයන් මත මැතිවරණ කල් නොයවා කළ හැකි මැතිවරණ නීති සංශෝධන බලාත්මක කර ගැනීම.

02. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩපිළිවෙලට ශක්තිමත් එකඟතාවයක් ඇතිකර ගැනීම

03. ආර්ථිකයේ කලයුතු බරපතළ ව්‍යූහාත්මක වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සඳහා සවිස්තරාත්මක කරුණු මත පදනම්ව ශක්තිමත් එකඟතාවයක් ඇතිකර ගැනීම.

04. වෘත්තීය සමිති බහුජන සංවිධාන හා ආර්ථික සුරක්ෂිතතාව අහිමිවන සමාජ ස්ථරයන්ට රැකවරණය ලබාදීම සඳහා වූ වැඩපිළිවෙලකට එකඟතාවයක් හා එම කණ්ඩායම් සමඟ ශක්තිමත් සංහිඳියාවක් ඇතිකර ගැනීම.

05. කලාපීය භූ දේශපාලන යථාර්ථයන් හා ජාත්‍යන්තර බලවත් සාධකයන් සැලකිල්ලට ගනිමින් අපගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැවතත් පසු විපරමක් කරමින් විදේශ ප්‍රතිපත්තියේ තුලනයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සම්මුතියක් ඇති කර ගැනීම.
මේ මොහොතේ අප රටේ ඉල්ලා සිටින්නේ එවැනි සම්මුති බද්ධ ප්‍රජාතාන්ත්‍රික කතිකාමය ආණ්ඩුකරණය කි.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
2022.09.10

 

Social Sharing
නවතම විශේෂාංග