හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්; ගෝඨාභය පන්නන මට්ටමේ දේශපාලන අර්බුදයක් ආවෙත් ඒ ආර්ථික අර්බුදය නිසයි; ඉතින් ජනාධිපති විය යුත්තේ ආර්ථික අර්බුදයට විසඳුමක් තිබෙන කෙනායි. ඒක තමයි ඒ තර්කය.
නමුත් ඒ අදහස වැරදියි.
ආර්ථික අර්බුදය නිසා මේ මට්ටමේ දේශපාලන අර්බුදයක් ඇති වුණා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේ දේශපාලන අර්බුදයට ස්වයං පැවැත්මක් තියනවා. තවත් විස්තර කළොත්, මේ ආර්ථීක අර්බුදයත්, මේ දේශපාලන අර්බුදයත් එකිනෙකින් පෝෂණය වෙමින් වුනත් වෙන වෙනම, ස්වයංව පවතිනවා.
ඒ නිසා දැන් අපි බලන්න ඕනේ කොයි අර්බුදය ද කලින්ම විසඳා ගන්න ඕනේ කියලා. මුලින් ඇති වුනේ ආර්ථික අර්බුදය නිසාත් ඒ වගේම මේ දේශපාලන අර්බුදය ඒ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූවක් නිසාත්, ගොඩක් වෙලාවට අපිට හිතෙනවා ඉස්සෙල්ලා ආර්ථික අර්බුදය විසඳගෙන ඊට පස්සේ දේශපාලන අර්බුදය විසඳා ගත යුතුයි කියලා. නමුත් විමසිල්ලෙන් බැලුවොත් අපිට පේනවා ආර්ථික අර්බුදය විසඳා ගත්තු පමණින් දේශපාලන අර්බුදය විසඳෙන්නේ නැති බවත්, අනෙක් අතට දේශපාලන අර්බුදය විසඳා ගැනීමෙන් තොරව කිසිම විදියකින් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නොහැකි බවත්.
දේශපාලන අර්බුදය විසඳ ගන්නවා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් නායකයෙක් ව පත්කර ගන්නවා කියන එකයි. දැන් තියෙන්නේ පිළිගැනීම නැතිනම් සුජාතභාවය (Legitimacy) පිළිබඳ ප්‍රශ්නයක්. මේ පිළිගැනීම නැතිනම් සුජාතභාවය කියන එක නැතිව පවත්වාගෙන යන ආණ්ඩුවක් කියන්නේ හුදු බලහත්කාරය යෙදීමෙන් පමණක් පවතින දෙයක් විතරයි. දේශපාලන විද්‍යාවේ බලය සහ අධිකාරිබලය (Authority) අතර වෙනස සාකච්ඡා කරනවා. අධිකාරිත්වය, බලයෙන් වෙනස් වෙන්නේ ඊට පිළිගැන්වීම නැමැති සාධකය ඇති නිසයි. මේ ජනරජවාදී (සමූහාණ්ඩුවාදී) නැතිනම් ප්රජාතන්ත්රවාදී යුගයේදී හුදු බලයකට පමණක් කරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. විශේෂයෙන්ම අපේ රට, අවුරුදු 90 ක් තිස්සේ ප්රජාතන්ත්රවාදයට ඇබ්බැහි වෙච්ච රටක්. ඒ වගේම වෙන කවරදාටත් වඩා මහජනයා තමන් සතු බලය අත්හදා බලමින් තිබෙන කාලයක්. ඉතින් මෙහෙම රටක මෙහෙම කාලයක දේශපාලන ස්ථාවර භාවය ඇති කරගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ මහජන පිළිගැනීම ඇති කර ගන්නවා කියන එක මිස වෙනත් දෙයක් නොවෙයි.
මෙන්න මේ කරුණ මත තමයි රනිල් නුසුදුස්සෙක් වෙන්නෙ. රනිල්, රාජපක්ෂලාගේ ආරක්ෂකයෙක් බව පෙනිලා ඉවරයි. පොහොට්ටුවේ රාජපක්ෂ පාර්ශවයේ අපේක්ෂකයා රනිල් බව ඉතා පැහැදිලියි. ඒ නිසා රනිල්ට ආර්ථිකය ගැන කොයිතරම් හොඳ අදහස් තිබුණත්, ඔහු ජනාධිපති වුවහොත්, මේ දේශපාලන අර්බුදය (සමහරවිට ඉතා කෙටි කලකට යට ගියත්) නැවත ඉක්මනින්ම උත්සන්න වෙන්න නියමිතයි. ඒ දේශපාලන අර්බුදය උත්සන්න වෙනවා කියලා කියන්නේ ඔහු ළඟ තියෙන ඒ මනරම් අදහස් එකක්වත් ඔහුට ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. මේ වතාවේ විශේෂයෙන් නැතත් රනිල් කියන්නේ හැමදාමත් දේශපාලන ක්‍රීඩාව හරියට කරගන්න බැරි වුණ කෙනෙක්.
අපි කැමති වුනත්, අකැමැති වුණත් මේ වෙලාවේ මේ හතර දෙනා අතුරින් මහජන පිළිගැනීමට ලක් වන (නිවැරදිව කිවහොත් මහජනයා ප්‍රතික්ෂේප නොකරන) අපේක්ෂකයන් දෙදෙනයි ඉන්නේ. ඒ අනුර සහ ඩලස්. ඒකෙන් අනුරට වඩා දළ සුදුසු වන්නේ ඔහුට පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇති කණ්ඩායම සමඟ දේශපාලන සම්බන්ධයක් තිබීමයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කියන දෙතැනම දේශපාලන වශයෙන් ස්ථාවර විය හැකි නායකයකුට සිටින්නේ ඩලස් පමණයි.
ඒ අනුව මේ රටට මේ මොහොතේ ඇති හොඳම විසඳුම වන්නේ, මේ හතර දෙනා අතරින් ඩලස් ජනාධිපති කර ඔහු වටා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීමයි. රනිල්, ඩලස්, සජිත් හෝ අනුර නොව ශක්‍රයා ආවත් මේ මොහොතේ මේ දේශපාලන හා ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් එබඳු සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. එහි ජනාධිපති විය යුත්තේ නම් නිශ්චිතවම රනිල් නොව ඩලස්. ඊට හේතුව ආර්ථික අර්බුදයට පෙර අනිවාර්යයෙන්ම දේශපාලන අර්බුදය විසඳා ගැනීමට අවශ්‍ය වීමයි.
(මේ මගේ පෞද්ගලික අදහස. මේක ලියනවට ඩලස් අලහප්පෙරුම කීයක්වත් ගෙව්වෙ නෑඋ. රනිල් එක්ක තරහකුත් නෑ)
අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය