-අජිත් පැරකුම් ජයසිංහ-
මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්. මාත් ඒකට විරුද්ධයි. හැබැයි, මං සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මේ විදියට නින්දිත විදියට කිච කරනවාට විරුද්ධයි. මේක මං දෙමළ ජාතිකවාදය සම්බන්ධයෙනුත් හිටපු ස්ථාවරය. 2009දි යුද ජයග්‍රහණය වෙලාවෙ යුද්ධයට වගේම සිංහ කොඩිය උත්කර්ෂයට නගනවාටත් මං විරුද්ධ වුණා.
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පැරදවිය යුත්තේ වඩා දියුණු දේශපාලන දර්ශනයකින් හා උපායමාර්ගවලින්. දෙමළ ජාතිකවාදය වුණත් එහෙමයි. ඒ නිසායි, එල්ටීටීඊ එක නන්දිකාඩල් ඇරියට ප්‍රශ්නෙ අවසන් නොවුණෙ. තවමත් තියෙන්නෙ බෙදුණු දේශපාලන ප්‍රජාවම තමයි. ඒකෙ ප්‍රකාශනය තමයි උතුරු නැගෙනහිර මිනිසුන් ‘අරගලයට’ සහාය නොදීම. උන් හිනාවෙවී බලන් ඉන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න එක වැදගත්. එතනින් දෙන පණිවුඩේ මේකයි. උඹලා අපට කරපු දේම තමයි දැන් උඹලට උඹලා විසින්ම කරගන්නෙ.
මේ අරගලයෙ ප්‍රධාන බලවේග නම් වශයෙන් කියවලා බලන්න. ඒ වැඩිදෙනෙකු සුළුතර ජාතික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන අය. ‘අරගලයෙ’ සම්පූර්ණ මෙහෙයවීම තියෙන්නෙ සහ එයට ආධාර කරන්නෙ මේ බලවේග. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ‘අරගලකරුවන්’ සියල්ල එහෙම අයය කියලා. හැබැයි, නායකත්වය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට විරුද්ධ අය. එහෙම විරුද්ධ වෙන එක වැරදි නැහැ. එතකොට වැරදි මොකක්ද?
මේක ඇතුළෙ අවසානයේදී සිදුවුණේ සිංහල බෞද්ධ සංකේතීය නායකයා වුණ ගෝඨාභය රාජපක්ෂව නන්දිකාඩල් යවපු එක. ඒක සිදුවුණේ ගෝඨාභය රාජපක්ෂ වෙඩිල්ලක්වත් පත්තු නොකර පසුබහින සංදර්භයක් තුළ. රාජපක්ෂවාදයේ චෞරත්වය අතිශයෝක්තියට නගලා නිර්මාණය කරපු විරෝධයක් තුළ. ගෝඨාභය මුහුණදෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ මුහුණදුන් ඉරණමටත් වඩා කෘර ඉරණමකට. ඔහු මේ වෙනකොට රැකවරණයක් නැති, රටක් නැති මිනිහෙක්. මේක එහෙම නෙමෙයි වෙන්න ඕනැ. ඔහු මේ රටේ හිටපු ජනාධිපති කෙනෙකු නිසා මේ රටේ රැකවරණය යටතෙ ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයකට ඔහුට අවස්ථාව ලබාදිය යුතුයි.
මාලේ ගුවන්තොටුපළෙන් ඔහු පිටවෙලා යද්දි, දිවෙහි හරි දෙමළ හරි භාෂාවකින් කවුරුහරි මිනිහෙක් ඔහුට විරුද්ධව සක්කිලියා වගේ වචන පාවිච්චි කරලා කෑගහන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා. කල්පනා කරන්න වටින දේ තිබෙනවා. ඇයි ගෝඨාභය ඉල්ලා අස්වුණ වෙලාවෙ මේ රටේ මිනිසුන් රතිඤ්ඤා පත්තු කළේ නැත්තෙ? කිරිබත් නොඉව්වෙ? එහෙම කරන්න ඉල්ලපු මිනිසුන්ට ෆේස්බුක් එකේවත් හරිහමන් විදියට කිරිබත් කෑම පෙන්නන්න බැරි වුණේ ඇයි? මිනිසකු විනාශ කර කිරිබත් කෑම රාජපක්ෂවාදයේම කොටසක්. අරගල නායකයන් රාජපක්ෂලාට ගැහුවෙ රාජපක්ෂලාගෙම ජාතියෙ ආයුධවලින්. කිරිබතුත් එහෙම ආයුධයක්.
රාජපක්ෂලා සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය උපරිමයෙන් බලමුළුගන්වලා දෙමළ අරගලය පැරැද්දුවා. මුස්ලිම් අන්තවාදී ප්‍රවණතා පරාජය කළා. අවසානයේදී සුළු ජාතික සහාය නැතුව තනි සිංහල ආණ්ඩුවක් පිහිටුවන්නට පුළුවන්ය කියන එකත් පෙන්නුවා. අපි මේකත් කියන්න ඕනැ. රාජපක්ෂලා බලයට පත්වුණාට පස්සෙ ඒ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පාවිච්චි කළේ නැහැ. අලි සබ්‍රි වගේ අලුත් මුස්ලිම් නායකයකුව පවා නිර්මාණය කළා. හැබැයි, අන්තිමට මොකක්ද වුණේ?
හැමදාමත් බලයට පත්වන ආණ්ඩු එක්ක හුරතල් වන හකීම්ලාට එහෙම සම්බන්ධ පිරිස් ඇයි මේ තරම් අරගලයට සල්ලි වියදම් කළේ කියන එක කල්පනා කරලා බලන්න. ක්‍රිස්තියානි බලවේග, සුමන්තිරන්ලා-ශානක්‍යන්ලා කොහොමද මේ අරගලයෙ මෙතරම් ප්‍රබල වුණේ? ගෙවල් ගිනි තියනකොට ගෙවිඳු කුමාරතුංග නායකත්වය දෙන සිංහල ජාතිවාදී යුතුකම කියන ඉතා කුඩා කණ්ඩායම නියෝජනය කළ ඉතා සාමකාමී පුද්ගලයකු වන අනුප පස්කුවල්ගෙ ගේ පවා සොයා ගිහින් විනාශ කළේ ඇයි? මේවා කල්පනා කරලා බලන්න.
දෙමළ ජාතිවාදය, මුස්ලිම් අන්තවාදය වගේම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයත් නන්දිකාඩල් යවලා අවසන් කරන්න බැහැ. මේ කිසිවක් නන්දිකාඩල් කිරීම නිවැරදිත් නැහැ. ඒ වගේම, විශේෂයෙන්ම මේ රටේ බහුතර පදනම වන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය නන්දිකාඩල් කිරීම අතිශය භයානකයි. ඒ ජයග්‍රහණ ඉතා තාවකාලික වෙන්නට පුළුවන්.
සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී වුණත්, ශ්‍රී ලාංකික රාජ්‍යය කියන්නෙ ඉංග්‍රීසීන්ගෙන් පස්සෙ අර්බුද, ගැටුම්, යුද්ධ ආදිය ඔස්සේ සිංහලයන් නිර්මාණය කළ රාජ්‍යයක්. සිංහලයන්ට ලෝකෙ තියෙන එකම රාජ්‍යය මේකය කියන බහුතරය වෙමින් සුළුතරය වීමේ මානසිකත්වය සිංහලයන්ට තිබෙනවා. මේ විනාශ කරන්නෙ ඒ රාජ්‍යය.
අපට ස්ථාවරත්වය අවශ්‍ය ඒ විනාශය වළක්වාගන්නටයි. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ශ්‍රී ලංකා රාජ්‍යය අපි පුළුල් දේශපාලන ප්‍රජාවක රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්නට ඕනැ. ඒක ඒ රාජ්‍යය කඩා බිඳැදැමීමෙන් කරන්නට බැහැ. ඒකට ඒ රාජ්‍යය පරිවර්තනය කරන්නට අවශ්‍යයි. ඒ පරිවර්තනය කළ යුත්තෙ හෙමින් හා පරිස්සමෙන්. බලය බෙදාගැනීම වගේ දේ වෙනුවෙන් අපි දිගුකලක සිට සටන් කරන්නෙ ඒ නිසායි.