ඒක පුද්ගල ණය රුපියල් මිලියනය ඉක්මවයි ..!

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කිරීමට පෙර ගෙවුණු අවසන් මාසය වූ 2022 මාර්තු මාසය අවසානයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශිතව තිබෙනවා. එම ප්‍රමාණය රුපියල් බිලියන 21,696.6ක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ ජනගහණය මිලියන 21.59ක්. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රටේ ජනගහණයෙන් බෙදූ විට එක් අයෙකුට වැටෙන ප්‍රමාණය රුපියල් මිලියනය ඉක්මවනවා. හතර දෙනෙකු සිටින පවුලකටනම් රුපියල් මිලියන හතරක් පමණ.

මේ ආණ්ඩුව බලයට පත් වන විට (2019 අවසානයේදී) ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,031.5ක් පමණයි. ඒ අනුව, පසුගිය දෙවසරකට මඳක් වැඩි කාලය තුළ රුපියල් ට්‍රිලියන 8.7කින් පමණ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට මෙම ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ ඉහළ ගොස් තිබිය යුතු බව අපේ ඇස්තමේන්තුවයි. මෙම සංඛ්‍යාලේඛණ වලට ඇතුළත් වන්නේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලිබල මණ්ඩලය හා තෙල් සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වල ණය මීට ඇතුළත් නැහැ.

මීට පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟම පෙන්වා දුන් පරිදි ශ්‍රී ලාංකිකයන්ගෙන් අවම වශයෙන් 90%ක්ම කරන්නේ තමන් සෘජු ලෙස හෝ වක්‍ර ලෙස රජයට ගෙවන බදු ප්‍රමාණයට වඩා වැඩියෙන් රජයෙන් ප්‍රතිලාභ ලබන එකයි. එසේ නොකරන්නේ ඉහළම ආදායම් ලබන 10%කට නොවැඩි පිරිසක් පමණයි.

රජයේ වාර්ෂික බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5ක් පමණ. මධ්‍යම රජයේ සමුච්ඡිත ණය ප්‍රමාණය මේ වන විට රුපියල් ට්‍රිලියන 24කට ආසන්න වී තිබිය යුතුයි. විදේශ ණය ආපසු ගෙවීම රජය විසින් මේ වන විටද පැහැර හැර ඇති අතර ඒ හේතුව නිසා අයවැය හිඟය පියැවීමට අලුතෙන් තවත් විදේශ ණය ගැනීම වසර ගණනාවක් යන තුරු කළ නොහැකි දෙයක්. දේශීය ණය ලබා ගැනීම සඳහා අවම වශයෙන් 20%ක පොලියක් ගෙවිය යුතුව තිබෙනවා.

කොයි තරම් බදු වැඩි කළත් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.4කට වඩා වැඩි කර ගන්න අමාරුයි. මොන විදිහකින් හෝ ආදායම රුපියල් ට්‍රිලියන 2.4 දක්වා වැඩි කරගත්තත් එම ප්‍රමාණය මධ්‍යම රජයේ ණය වලින් 10%ක් පමණයි. ඒ කියන්නේ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම 10% වුනත්, රජයට ලැබෙන ආදායමෙන් තියෙන ණය වල පොලී ගෙවගෙවා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්න බැහැ. ඔන්න ඕකයි දැන් තියෙන තත්ත්වය.

ඔය විදිහට නොකියා තනි පවුල් ඒකකයකට ආදේශ කළාම කතාව වඩා හොඳින් තේරෙයි. හතර දෙනෙක් ඉන්න පවුලක් මොන විදිහෙන් හෝ තමන්ගේ ආදායමෙන් වියදම් පිරිමහගෙන ජීවත් වන අතරම සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කර රජයට ණය ගෙවන්න රුපියල් මිලියන හතරක් එකතු කර දිය යුතුයි. මේ ගොඩක් පවුල් වල මාසික ආදායම රුපියල් පණස් දහස නොඉක්මවන බවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ ඔය වැඩේ මොන විදිහකින්වත් කළ හැකි වැඩක් නෙමෙයි.

පවතින තත්ත්වය යටතේ ලංකාවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයම කඩා වැටීමේ අනතුර බැහැර කළ හැකි එකක් නෙමෙයි. තියෙන්නේ තේරීම් දෙකයි. එකක් හානි අවම කර ගනිමින් සැලසුම් සහගතව කඩා වැටෙන්න ඉඩ දීම. අනෙක් එක ඉබාගාතේ කඩා වැටෙන තුරු බලා සිටීම. පවතින තත්ත්වය තුළ 2019ට හෝ ආපසු යාම ඉතාම දුරස්ථ ඉලක්කයක්!

උපුටා ගැනීම : ඉකොනොමැට්ටා
(Image: https://www.newindianexpress.com/world/2022/mar/16/sri-lanka-battling-grave-economic-crisis-plans-to-look-beyond-beijing-2430794.html)

Social Sharing
නවතම විශේෂාංග